ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීමට අවදානය

වසංගත තත්ත්වය නිසා කඩාවැටී ඇති ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීම සඳහා දෙපාර්ශ්වයම එක්ව කටයුතු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍යාංශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා යන මහත්වරුන් පවසයි.

සිව් දින නිල සංචාරයකට එක්ව සිටින ඉන්දීය විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා ඊයේ (04) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කර තිබේ.

විශේෂයෙන්ම දෙරටේ එන්නත්කරණ ක්‍රියාවලිය හොඳින් ක්‍රියාත්මක වන නිසා නැවත සබඳතා ආරම්භ කිරීමේ හැකියාවක් පවතින බව ලේකම්වරයාගේ අදහස වී තිබේ.

කොවිඩ් වසංගතයට පෙර ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව සමස්ත සංචාරකයින්ගෙන් 18%ක ප්‍රතිශතයක් ඉක්ම වූ අතර ඉන්දියාව ශ්‍රී ලංකාවේ ඉහළ සංචාරක ප්‍රභවයක් ලෙසද හඳුනාගෙන තිබුණි.

මේ අතර දෙරට අතර ද්වි පාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීම උදෙසා  දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘති හා සංචාරක ව්‍යාපාරය, බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය ඇතුළු අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය වන අංශ ගණනාවක් පිළිබඳව මෙම හමුවේ දී සාකච්ඡාවට ලක් වී තිබේ.

බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම උදෙසා මෝදි අගමැතිතුමා ගත් පියවර මෙහි දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඇගයීමට ලක් වී තිබේ. එය අගැමති මෝදිගේ ප්‍රමුඛතම කාර්යක් වූ බව ෂ්‍රිංග්ලා මහතා විශ්වාසය පළ කළේය.

මේ අතර ඉන්දු- ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරුන් අතර පසුගිය වසරේ පැවති මාර්ගගත ද්විපාර්ශ්වික සමුළුව අවසානයේ දී රටවල් දෙකෙහි ජනතාව අතර පවතින ගැඹුරු සබඳතාව ශක්තිමත් කිරීම උදෙසා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 15ක ප්‍රදානයක් ප්‍රකාශයට පත් කර තිබුණි.

මෙහි දී අදහස් පළ කළ ඉන්දීය විදේශ අමාත්‍යාංශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා ඉන්දියාවේ කුෂිනගර් ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් වශයෙන් ප්‍රකාශයට පත් කළ වහාම ඒ දක්වා පියාසර කරන පළමු වන්දනාකරුවන්ගේ ගුවන් යානය ශ්‍රී ලංකාවෙන් පැමිණෙනු ඇතැයි බලාපොරොත්තුවන බව සඳහන් කර තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පසුගිය ද්විපාර්ශවික සමුළුවේ දී මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබිණි.

Visits: 58