DFCC බැංකුවෙන් රු. බිලියන 7ක් වටිනා ණයකර නිකුතුවක් යෝජනා කරයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත DFCC බැංකුව ණයකර කොටස් මිලියන 7ක නිකුතුවක් සිදු කිරීමට සැලසුම් කරමින් සිටින බව පවසයි. පසුගිය සැප්තැම්බර් 29 වැනිදා රැස් වූ එම බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලය මගින් මේ සඳහා වන තීරණය ගෙන තිබේ.

ඒ අනුව බාසෙල් III අනුකූල, අතිරේක අදියර 2, වර්ග කෙරුණු, ලැයිස්තුගත, නොසුරැකුණු, අප්‍රධාන, නිත්‍ය, කල්පිරීමේ දිනයට පෙර ආපසු ගෙවිය හැකි, ශක්‍ය නොවන පූර්ණ පරිවර්තනයක් ලෙස පැවරිය හැකි බැදුම්කර ලෙස මෙම නිකුතුව සිදු කෙරෙන බව සඳහන් වෙයි.

එසේම මෙම ණයකර කොටස් බැංකුවෙහි ලැයිස්තුගත සාමාන්‍ය ඡන්ද හිමි කොටස් ලෙසට පරිවර්තනය කළ හැකි බවත් බැංකුව සඳහන් කරයි.

මෙහිදී එක් ණයකර කොටසක් රුපියල් 1,000ක් බැගින් නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර, සමස්ත නිකුතුවේම වටිනාකම රුපියල් බිලියන 7ක් (7,000,000,000) ලෙස සටහන්ව ඇත.

කෙසේ වෙතත් බැංකුවෙහි මෙම නිකුතුව අදාළ නියාමකයන්ගේ, කොටස් හිමිකරුවන්ගේ සහ මෙන්ම එය ලැයිස්තුගත කෙරෙන කොළඹ කොටස් හුවමාරුවෙහිද අවසන් අනුමැතියක් වෙත යොමු විය යුතුව ඇතැයිද DFCC බැංකුව වැඩිදුරටත් පවසා සිටියි.

එසේම මෙම ණයකර නිකුතුවට අදාළ පොළී අනුපාතයන් පිළිබඳව එම නිකුතුව සිදු කරන අවස්ථාවේදී පවතින වෙළෙඳ පොළ පොළී අනුපාතයන් අනුව තීරණය කරන බවත් බැංකුව සඳහන් කරයි.

Visits: 213