ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වසර 10කදී ලැබූ පාඩුව රුපියල් බිලියන 331 ඉක්මවලා

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්ත‍මේන්තුව මගින් 2010 සිට 2020 දක්වා කාලය තුළ තැබූ පාඩුව රුපියල් බිලියන 331ක් වන බව රාජ්‍ය මූල්‍ය පිළිබඳව අධ්‍යයනය සිදු කරන ස්වාධීන පර්යේෂණ ආයතනයක් වන Public Finance.lk සිය වාර්තාවක් හරහා පවසයි.

ඒ අනුව මෙය රාජ්‍ය හිමිකාරීත්වයක් සහිත අන් කිසිදු ආයතනයක් එම කාලසීමාවේදී හිමි කරගෙන ඇති අලාභයට වඩා ඉහළ බවත් ඔවුන් පෙන්වා දෙයි.

ඒ අනුව ආසන්න කාලසීමාවේදී ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අලාභ පිට පවත්වාගෙන ගොස් ඇති බවත්, 2019 වසරේ සිට බලපෑ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් එම අලාභය තවදුරටත් දරුණු වී ඇතැයිද Public Finance.lk සඳහන් කරයි.

මේ හේතුවෙන් අද වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව යනු සේවක වැටුප් ගෙවීමට තරම්වත් ප්‍රමාණවත් ආදායමක් හිමි නොවන ආයතනයක් තත්ත්වයට පත්ව තිබෙන බවත් මෙම වාර්තාවෙන් පෙන්නුම් කර තිබේ.

මෙම වාර්තාවට අනුව 2010 වසරේ සිට 2020 දක්වා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ලබා ඇති වාර්ෂික අලාභය පිළිවෙලින් රුපියල් බිලියන 15ක්, 33ක්, 33ක්, 26ක්, 47ක්, 38ක්, 23ක්, 20ක්, 22ක්, 28ක් සහ 45ක් ලෙස සටහන්ව තිබේ.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ආදායම් උත්පාදනය මූලිකවම මගී ප්‍රවාහනය (සාමාන්‍ය මගී ටිකට්පත්, වාරප්‍රවේශපත්‍ර මගී ටිකට්පත්), භාණ්ඩ ප්‍රවාහනය සහ වෙනත් ක්‍රම ඔස්සේ සිදු වෙයි. එහෙත් පවතින තත්ත්වය අනුව එම ආදායම් උත්පාදනය දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන්ගේ වියදම් පිරිමසා ගැනීමට තරම්වත් ප්‍රමාණවත් නොවන බව පැවසෙයි.

එහිදී මූලිකවම සේවක වැටුප් සහ දීමනා, අතිකාල සහ නිවාඩු දින සඳහා වන ගෙවීම් මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් සඳහා ලබා දෙන අනෙකුත් දීමනාද ඊට ඇතුළත් වෙයි. මෙම වියදම්වල සාමාන්‍ය පසුගිය වසර අට තුළදී (2013-2020) වාර්ෂිකව දුම්රිය දෙපාර්තමේන්තුවේ සමස්ත වියදමෙන් 24%ක ප්‍රතිශතයක් බවටත් පත්ව ඇත.

මෙම තත්ත්වය අනුව බැලූ විට දුම්රිය දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව ලබන ආදායම මෙම වැටුප් ඇතුළු දීමනා ගෙවීමටවත් ප්‍රමාණවත් නොවන තත්ත්වයක් මෙම කාලසීමාව තුළදී උදා වී තිබෙන බව පැහැදිලි වී තිබේ.

මේ අතර 2020 වසර තුළදී ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ලැබූ අලාභය රුපියල් බිලියන 45ක් දක්වා ඉහළ යාමට මූලිකවම කොවිඩ්19 වසංගත තත්වය නිසා ඇති වූ ලොක්ඩවුන් සීමා සහ සංචරණ සීමා කිරීම් නිසා ඇති වූ මගී ගමනාගමනයේ සීමා නිසා ඇති වූ ආදායම් අඩුවීමක් අනුව සිදුව තිබෙන බවත් Public Finance.lk පවසයි.

Visits: 165