තිලංග සුමතිපාල සභාපතිවීමත් සමග ඒෂියා කැපිටල්හි වෙනස්කම් රැසක්?

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඒෂියා කැපිටල් පීඑල්සී සමූහයේ දැවැන්ත වෙනස්කම් රැසක් පසුගියදා සිදු විය. ඒ අතරින් මූලිකම වෙනස වූයේ මෙරට හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම ප්‍රකට ව්‍යාපාරිකයෙකුද වන තිලංග සුමතිපාල මහතා එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත්වීමයි.

එහෙත් එය හුදෙක් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයක් පමණක් නොව ඒෂියා කැපිටල් පීඑල්සී සමාගමේ සභාපති ධුරයම ඔහු වෙත පිරිනැමීමේ අවස්ථාවක් ලෙස වාර්තා සඳහන් කරයි. අද වනවිට ඒෂියා කැපිටල් පීඑල්සී සමාගමේ වැඩිම කොටස් හිමිකාරීත්වයක් ඇති මැලේසියානු ආයෝජක විජේ ඊස්වරන්ගේ ආශිර්වාදය යටතේ මෙලෙස සුමතිපාල මහතා සමාගමේ සභාපති ධුරය වෙත පත් කර තිබෙන බව පැවසෙයි.

පසුගිය සැප්තැම්බර් 29 වැනිදා පැවැත් වුණු ඒෂියා කැපිටල් අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මෙලෙස සුමතිපාල මහතා සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු සහ සභාපතිවරයා ලෙස පත් කිරීම සිදු කර තිබේ. එහිදී මෙතෙක් ඒෂියා කැපිටල්හි සභාපතිවරයාව සිටි නීතීඥ පෝල් රත්නායක මහතා එම ධුරයෙන් ඉවත්වීමත් සිදුව ඇත.

මෙම ඉවත්වීම සහ නව පත් වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති විජේ ඊස්වරන් මහතා, “හිටපු සභාපතිවරයා වන රත්නායක මහතා සිය ධුර කාලය තුළදී ලබා දුන් සේවාව ගැන මම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම අලුතින් පත්ව සිටින සභාපති සුමතිපාල මහතා සහ මගේ මිත්‍රත්වය දශක දෙකක් පමණ ඇතයි. සමාගම සම්බන්ධයෙන් ඔහුගේ දැක්ම සහ මගේ දැක්ම එක සමානයි. අප දෙදෙනා අතර සාංගමික සමාජීය වගකීම් සම්බන්ධයෙන් පැවැති පොදු වූ අත්දැකීම් සමගින් සහස්‍රකය ආරම්භයේ සිටම දෙදෙනා අතර ඉතාමත් හොඳ මිත්‍රත්වයේ බැඳීමක් ඇති වුණා.” යනුවෙන් සඳහන් කර ඇත.

එහිදී විශේෂයෙන්ම සුමතිපාල මහතා විසින් ඒෂියා කැපිටල් පීඑල්සී සමූහයේ ඉදිරි අභිවෘද්ධිය වෙනුවෙන් සිය නායකත්වය ලබා දෙනු ඇති බවත්, ඒ හරහා ඔහු සියලු දෙනාටම පොදු වූ නව උපායමාර්ගික මාර්ගය වෙත ඒෂියා කැපිටල් සමාගම රැගෙන යනු ඇතැයිද ඊස්වරන් මහතා සඳහන් කර ඇත. ඒ අනුව මෙම වසංගත යුගයෙන් අනතුරුව එළැඹෙන නව දශකය සඳහා ඒෂියා කැපිටල් සමාගම වෙත ඔහු නව වේදිකාවක් නිර්මාණය කරනු ඇතැයි යනුවෙන්ද ඔහු විශ්වාසය පළ කර තිබේ.

සිය නව පත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති තිලංග සුමතිපාල මහතා, “මෙම වසංගත තත්ත්වය නිසා ලෝකයේ සියලු දේම වෙනස් වෙලා තිබෙනවා. ඒ අතරතුරදීම අපගේ භූමිකාවන්ද අලුතින් හැඩගස්වා ගන්නට සිදුව තිබෙනවා. මට පෞද්ගලිකවම ගත්තහම විශේෂයෙන්ම රටෙහි වර්ධනය සහ සංවර්ධනය ගැන හිතන පුද්ගලයෙකු විදියට ඉතාමත් ඉහළ අවස්ථාවන් රැසක්ම තිබෙනවා. ඒ නිසා මම මගේ වෘත්තිමය සුදුසුකම්, අත්දැකීම් යොදා ගන්න හොඳම වේදිකාවක් විදියට මෙය සලකනවා.” යනුවෙන් පවසා ඇත.

විශේෂයෙන්ම ඒෂියා කැපිටල් පීඑල්සී සමාගම ආසියාව පුරා විහිදුනු වඩාත් පිළිගත්, විවිධාංගීකරණය වූ සමාගම් රැසක් බව ඔහු පවසයි. ඒ අනුව සමාගමේ නායකත්ව කණ්ඩායම සමගින් සමීපව කටයුතු කරමින් වඩාත් ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කිරීමටත්, ඒෂියා කැපිටල් පීඑල්සීහි ඉදිරි තිරසාර සංවර්ධනය වෙනුවෙන් කටයුතු කිරිමටත්පියවර ගන්නා බව ඔහු පවසා තිබේ. ඒ හරහා ඒෂියා කැපිටල් පීඑල්සී සමාගම පිළිගත් ශ්‍රී ලාංකික සන්නාමයක් බවට පත් කළ හැකි වෙනු ඇතැයිද ඔහු සඳහන් කර සිටියි.

මේ අතර ඒෂියා කැපිටල් සමාගමේ ඒකාබද්ධ ප්‍රධාන මෙහෙයුම් නිලධාරීන් ලෙස කටයුතු කළ රෙහාන් මොරිස් සහ සඳුන් හෙට්ටිගේ යන මහත්වරුන්ද පසුගිය මාසයේදී සිය තනතුරුවලින් ඉවත් වීම සිදුවිය.

කෙසේ වෙතත් මේ වසරේ ජූනි මාසය වන විට ඒෂියා කැපිටල් සමාගම සමූහයක් ලෙස රුපියල් බිලියන 2.3ක සහ සමාගමක් ලෙස රුපියල් මිලියන 582ක අලාභයක් හිමි කරගෙන ඇතැයි සදහන් වෙයි.

මේ අතර සුමතිපාල මහතාගේ සභාපති ධුර සම්ප්‍රාප්තියත් සමගින්ම ඒෂියා කැපිටල් පීඑල්සී සමූහය යටතේ අලුතින් බිහි කළ කොටස් තැරැව්කාර සමාගම වන ඒෂියා කැපිටල් ස්ටොක්බ්‍රෝකර්ස් සමාගමේ සභාපතිවරයාව සිටි නීතීඥ සාගර කාරියවසම් මහතාද පසුගියදා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි මේ පිළීබඳව වාර්තාවක් ගෙන එන ඩේලිඑෆ්ටී පුවත්පත සඳහන් කරයි.

නීතීඥ සාගර කාරියවසම් මහතා වත්මන් රජයේ ප්‍රධානතම පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂයේ මහ ලේකම්වරයා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වෙයි.

අද වනවිට ඒෂියා කැපිටල් පීඑල්සී සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් 71.6%ක් සතුව ඇත්තේ විජය ඊස්වරන් මහතා වෙතයි. මේ වසරේ ජනවාරි මාසයේදී ඒ මහතා විසින් ඒෂියා කැපිටල් පීඑල්සී සමාගම තුළ ජපානයේ ආයෝජකයන් සතුව තිබූ 16%ක කොටස් ප්‍රතිහතයක් රුපියල් මිලියන 160කට මිලදී ගැනීමත් සමගින්ම සිය කොටස් හිමිකාරිත්වය ඉහළ නංවා ගත්තේය.

එසේම ඔහුට සබැදි තවත් පාර්ශ්වයක් වන ෆාස්ට් ගේන් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් සමාගම සතුව 18%ක කොටස් හිමිකමක්ද පවතී. ඒ අනුව අද වනවිට ඊස්වරන් මහතා සතු සමාගමේ සමස්ත කොටස් ප්‍රතිශතය 90%කට ආසන්නවෙයි. මීට අමතරව සමාගමේ කොටස් ප්‍රතිශතයන් 28%ක් කොටස්හිමිකරුවන් 6,184දෙනෙකු අතර බෙදී ගොස් ඇතැයිද පුවත්පත වැඩිදුරටත් පවසයි.

Visits: 333