SME අංශය ලබා ගත් පැරණි සහ නව ණය සඳහා මහ බැංකුවෙන් රුපියල් මිලියන 15,000ක සහායක්

මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් මගින් ලබා ගෙන ඇති පැරණි ණය සහ ඊට අදාළ පොළිය මෙන්ම නව ණය සහ නව පොළිය ආපසු ගෙවීම වෙනුවෙන් ඉදිරි මාස හයක කාලයක් සඳහා සහනයක් ලෙස මහ බැංකුව මගින් රුපියල් මිලියන 15,000ක මුදලක් බැංකු වෙත නිකුත් කරන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ඉදිරි මාස හයක කාලයක් සඳහා රට තුළ ස්ථාවර සාර්ව ආර්ථික ක්‍රමවේදයක් ඇති කිරීමේ පෙර දැක්ම ඉදිරිපත් කරමින් මහ බැංකු අධිපතිවරයා අද පෙරවරුවේදී මෙම අදහස් පළ කළේය.

ඒ අනුව මෙම ව්‍යවසායන් මගින් අතීතයේදී ලබා ගෙ තිබූ ණය මෙන්ම වසංගතය හේතුවෙන් ලබා දුන් ණය පමා සහනය ඇතුළු තවත් අවස්ථාවන් මගින් ලබා ගත් ණය ඇතුළු නව සහ පොළිය සඳහා මෙම පහසුකම් සලසන බව අධිපතිවරයා මෙහීදි සඳහන් කළේය.

“අපි දන්නවා රටෙහි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් මගින් ලබා ගෙන තිබෙන පැරණි ණය සහ ඒවායේ පොළිය වගේම අලුත් ණය සහ ඒවායේ පොළිය ආපසු ගෙවීමේදී දැඩි පීඩනයකින් පසුවෙනවා. ඒ නිසා මහ බැංකුව විදියට අපි ඒ තත්ත්වය හොඳින් අවබෝධ කරගෙන ඒ අයට සහනයක් ලබා දීම සඳහා මෙම ණය සහ ණය පොලිය වෙනුවෙන් රුපියල් මිලියන 15,000ක් වෙන් කිරීමට මහ බැංකුව කටයුතු කරනවා.” යනුවෙන් අධිපතිවරයා පවසා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි මහ බැංකු අධිපතිවරයා අපිට වුවමනායි මේ කටයුතු සිදු වෙන්නේ කොහොමද කියන දේ පැහැදිලිවම කිව යුතු බව ඇති බවත් සඳහන් කළේය. එසේම මේ මුදල් වෙන් කිරිම් හරහා මේ ව්‍යාපාරිකයන් වෙත අවශ්‍ය පහසුකම් සැපයීමේ හැකියාවක් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය.

“මෙම වැඩසටහන යටතේම අපි බැංකු වෙතින් ඉල්ලා සිටිනවා 2022 මාර්තු 31 වැනිදා දක්වා වන මෙම කාලසීමාව සඳහා අදාළ ණය සම්බන්ධයෙන් වන දේපළ පවරා ගැනිමක් වෙත යොමු නොවෙන්න කියලා. ඒ වගේම බැංකු ලීසිං සමාගම් වලින් අපි කල්බදු ක්‍රමය යටතේ මිලදී ගෙන ඇති වාහන ආපසු අත්පත් කරගැනීමක් සිදු නොකරන ලෙසත් අපි උපදෙස් දෙනවා.” යනුවෙන්ද මහ බැංකු අධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Visits: 173