සිංහපුත්‍ර ෆිනෑන්ස් සහ නේෂන් ලංකා ෆිනෑන්ස් අතර ඒකාබද්ධවීම අත්හැර දැමේ

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බැංකු නොවන මූල්‍ය සමාගම් දෙකක් වන සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගම සහ නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගම අතර යෝජනා කර තිබූ ඒකාබද්ධවීම අත්හැර දැමෙන බව සමාගම් දෙකම නිවේදනය කර සිටියි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති බැංකු නොවන මූල්‍ය සමාගම් සතුව පැවතිය යුතු මූලික ප්‍රාග්ධන අවශ්‍යතා සැපිරීම වෙනුවෙන් මෙලෙස එම සමාගම් දෙක ඒකාබද්ධ කිරීමට යෝජනා වී තිබුණි. ඒ සඳහා වන අනුමැතියද මහ බැංකුවෙහි මුදල් මණ්ඩලය විසින් ලැබී තිබූ බවත් පැවසෙයි.

කෙසේ වෙතත් මෙම සමාගම් ඒකාබද්ධ කිරීමේ අදහස අත්හැර දැමුවද ඉදිරියේදී සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගමෙහි ප්‍රධානතම කොටස් හිමිකරුවා වන සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්ස් විසින් නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී වෙත යම් ප්‍රාග්ධන ආයෝජනයක් සිදු කරමින් එම සමාගම විසින් පවත්වා ගත යුතු මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවන් සම්පූර්ණ කිරීමට දායක වනු ඇතැයි සඳහන් කෙරී තිබේ.

ඒ අනුව මෙම ආයෝජනය පිළිබඳව සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගමේ ප්‍රධානතම කොටස්හිමිකරුවන් සමගින් සාකච්ඡා කර තිබෙන බවත් එහිදී ඔවුන් ඊට අනුමැතිය ලබා දී තිබෙන බවත් සිංහ පුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගම පවසයි. එසේම එය නේෂන් ලංකා ෆිනෑන්ස්හි මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවන් සැපිරීම සඳහා වන විකල්ප ක්‍රමවේදයක් ලෙසද හඳුන්වා දී තිබේ.

මෙහිදී නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගම සහ සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්ස් යන සමාගම් දෙක අතර කොටස් මිලදී ගැනීමේ එකඟතාවක් ඇති වනු ඇති බවත්, එය පෞද්ගලික මිලදී ගැනීමක් ලෙසසිදු වනු ඇති බවත් සඳහන් වෙයි.

ඒ අනුව ප්‍රාග්ධන යෙදවීම මහ බැංකුවෙහි මුදල් මණ්ඩලයේ/සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ/කොළඹකොටස් හුවමාරුවෙහි මෙන්ම සිය සමාගමේ කොටස් හිමිකරුවන්ගේද අනුමැතිය සඳහා යොමු වනු ඇති බවත් නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගම පවසයි.

එසේම සමාගම් දෙක අතර සිදුවන මෙම ආයෝජනයන් සම්බන්ධයෙන් ඉදිරියේදී සිය කොටස්හිමිකරුවන් දැනුවත් කරන බවත් සමාගම් දෙකම මෙහිදී සඳහන් කර සිටියි.

ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගමෙහි කොටසක වටිනාකම රුපියල් 11.90ක් ලෙස සටහන්ව තිබූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ශත 10ක එනම් 0.8%ක ඉහළ යාමක් විය. එසේම නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගමෙහි කොටසක අගය රුපියල් 1.10ක් ලෙස පැවැති අතර එය පෙර දිනයේදී පැවැති අගයම විය.

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි නියමය අනුව 2020 දෙසැම්බර් 31 වැනිදා වනවිට මෙම බැංකු නොවන මූල්‍ය සමාගම්හි මූලික ප්‍රාග්ධනය රුපියල් බිලියන 2ක් ලෙස පැවතිය යුතු බව සඳහන් විය. එසේම 2021 දෙසැම්බර් අවසන් වන විට එය රුපියල් බිලියන 2.5ක් විය යුතු බවත් මහ බැංකුව සඳහන් කර තිබේ.

අද වනවිට මෙම සමාගම් දෙකම එම පැවතිය යුතු මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවන් සම්පූර්ණ කිරීමේ අවස්ථාවෙන් අනාරක්ෂිත කලාපයේ පසුවන බව ෆර්ස්ට් කැපිටල් රිසර්ච් සමාගම පසුගිය වසරේ සිදු කර තිබූ සමීක්ෂණයකින් අනාවරණය කෙරිණි. මෙලෙස අනාරක්ෂිත කලාපයේ පසුවන මූල්‍ය සමාගම් සතුව පවතින්නේ රුපියල් බිලියන -0.1 සිට රුපියල් බිලියන 2.3ක් දක්වා වූ මූලික ප්‍රාග්ධනයකි.

එහි සඳහන්ව තිබූ ආකාරයට 2021 දෙසැම්බර් 31 වැනිදා වනවිට සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගම රුපියල් මිලියන 900ක මුදලක්ද, නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 1.7ක මුදලක්ද සිය ප්‍රාග්ධනය වෙත එක් කරගත යුතුව තිබුණි.

Visits: 278