ආනයන සීමා ගැන කර්මාන්ත ඇමති විමල් සහ මහ බැංකු අධිපති කබ්රාල් අතර විශේෂ සාකච්ඡාවක්

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් කර්මාන්ත ක්ෂේත්‍රයට බලපා ඇති ගැටළු රැසක් පිළිබඳව කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමඟ විශේෂ සාකච්ඡාවක නිරත වූ බව එම අමාත්‍යාංශය පවසයි. ඊයේ මහ බැංකු පරිශ්‍රයේදී මෙම සාකච්ඡාව පැවැත්වී තිබේ.

මේ වන විට පනවා ඇති ආනයන සීමා හේතුවෙන් කර්මාන්ත සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමේදී මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබේ. මීට ඉහත දී කර්මාන්ත අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි 2001.06.11 දින සිට ආනයන සීමා ඉවත් කළ කර්මාන්ත සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමේදී අදාළ කර්මාන්තකරුවනට බැංකු මගින් ණයවර ලිපි විවෘත කරවා ගැනීමට මතුව ඇති ගැටළු පිළිබඳව මෙහිදී අදහස් පළ විය. ඒ සඳහා අවශ්‍ය මැදිහත්වීම සිදු කිරීමට මහ බැංකුව පියවර ගන්නා බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

මීට අමතරව ලෝහ ආශ්‍රිත කර්මාන්ත ඇතුළු තවත් කර්මාන්ත කිහිපයකට, තවදුරටත් පවතින ආනයන සීමා හේතුවෙන් අදාළ අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට නොහැකිව ඇති බැවින් ඒවා සඳහා ආනයන සීමා ඉවත් කිරීමට මෙහිදී කර්මාන්ත අමාත්‍යාංශය කළ ඉල්ලීමට අදාළ සමාලෝචනයක් සිදු කර අනුමැතිය ලබාදීමට මෙහිදී එකඟතාව පළ විය.

තවද වාහන එකලස් කිරීමේ කර්මාන්ත සඳහා අවශ්‍ය වාහන මූලික ආකෘති (prototypes) ගෙන්වා ගැනීමට මෙරට වාහන ආනයනය සීමා කිරීම හේතුවෙන් බධා මතුව ඇති බව මෙහිදී කර්මාන්ත අමාත්‍යවරයා පෙන්වා දුන් අතර එම මතුව ඇති බාධාව ඉවත් කිරීමට මහ බැංකුව කඩිනමින් අවශ්‍ය පියවර ගැනීමට නියමිතව ඇතැයිද සඳහන් වෙයි.

මෙම සාකච්ඡාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් දයා රත්නායක, අමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී අනුෂ්ක ගුණසිංහ, අතිරේක ලේකම්වරු වන එස්. එල්. නසීර්, රංජිත් විමලසූරිය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරු ඇතුළු මහ බැංකු නිලධාරීන් පිරිසක් ද එක්ව සිට ඇත.

Visits: 159