ආසන්න මාස 18 දී අපනයනය ඉපැයීම් රුපියල් වෙත මාරු කිරීමේ අඩුවක්

2020 වසරේ ජනවාරි මාසයේ සිට 2021 වසරේ ජූලි මාසය දක්වා ගතවුණු මාස 18ක කාලය තුළ මෙරට අපනයනකරුවන් සිදු කර ඇති අපනයන ඉපැයීම් රුපියල්වලට පරිවර්තනය කිරීමේ මැළිකමක් දැකගත හැකි වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙම කාලසීමාව තුළදී අපනයන ඉපැයීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව සහ මෙරට බැංකු සතු දත්ත අනුව ගලපමින් මහ බැංකුව මෙම කරුණු සඳහන් කර තිබේ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා රේගුව මගින් නිකුත් කර ඇති දත්ත අනුව 2021 අගෝස්තු මාසයෙන් අවසන් වූ මේ වසරේ මුල් මාස අට තුළ අපනයන ඉපැයීම්වල මාසික සාමාන්‍ය එක්සත් ජනපද ඩොලර් මිලියන 985කි. එහෙත් බැංකු විසින් වාර්තා කර ඇති ආකාරයට මෙම කාලසීමාවේදී රට වෙත ලැබී ඇති අපනයන ඉපැයීම්වල මාසික සාමාන්‍යය එක්සත් ජනපද ඩොලර් මිලියන 640ක් පමණකි.

“ඒ අනුව මෙම අගයන් දෙක අතර එක්සත් ජනපද ඩොලර් මිලියන 345ක පරතරයක් පවතී. එබැවින් මෙම නිරීක්ෂණය අපනයනකරුවන් සිය අපනයන ඉපැයීම් 100%ක්ම රට වෙතට රැගෙන ආ යුතු බවට වන නියාමනයට අනුකූල වන්නේද යන බරපතල ප්‍රශ්නය මතු කරයි.” මහ බැංකුව පවසයි.

විශේෂයෙන්ම විදේශ විනිමය අනුපාතිකයේ වෙනස්වීම් පිළිබඳව අනිසි සමපේක්ෂණ (ඉදිරියේදී රුපියලයට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යනු ඇති බවට) අදහස් හේතුවෙන් මෙලෙස 2020 ජනවාරි සිට 2021 ජුලි දක්වා කාලය තුළ අපනයනකරුවන් සිය අපනයන ඉපැයීම් රුපියල්වලට පරිවර්තනය කිරීමේ මැළිකමක් දක්වා ඇති බවද මහ බැංකුව සඳහන් කරයි.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගියදා මෙරට ආනයන අපනයනකරුවන් හමුවූ අවස්ථාව

ඒ අනුව මේ හේතුවෙන් දේශීය විදේශ විනිමය වෙළෙඳ පොළ වෙත වන ලැබීම් සීමා වී, එහි ප්‍රතිඵලයක් ලෙස බැංකු අංශය සතු විදේශ විනිමය තැන්පතු ශේෂය එක්සත් ජනපද ඩොලර් බිලියන 1.9කින් සැලකිය යුතු ඉහළ ගොස් තිබේ.

“මීට අමතරව රට තුළ ණය මත අය කෙරෙන පොළී අනුපාතික පහළ මට්ටමක පැවතීම හේතුවෙන් ඇතැම් අපනයනකරුවන් සිය යෙදවුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මුදල් ණයට ගෙන ආනයනය කිරිම වඩාත් වාසිදායක ලෙස සැලකූ අතර එය වෙළෙඳ පොළ මත තවදුරටත් පීඩනයක් ඇති කෙරිණි.” මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව දැනට පවතින මෙම දත්ත මගින් පෙන්නුම් කරන ආකාරයට අපනයන ඉපැයීම් 100%ක් රට වෙත ලැබුණේ නම් එම ඉපැයීම් 100%ක් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කෙරුණේ නම්, දේශීය වෙළෙඳපොළ තුළට මාසිකව අපනයන ඉපැයීම් වශයෙන් ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 985ක් විය හැකිව තිබූ බවද මහ බැංකුව පෙන්වා දෙයි.

“මෙම කාලසීමාවේදී මෙරට සාමාන්‍ය ආනයන වියදම වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 1,670 සමග මෙම ආදායම් ගැලපුවේ නම්, අපනයන ඉපැයීම් සහ ආනයන වියදම් අතර මාසික සාමාන්‍ය පරතරය එක්සත් ජනපද ඩොලර් මිලියන 685ක් විය හැකිව තිබුණි. එය රට වෙත ලැබෙන වෙනත් විදේශ විනිමය ලැබීම් භාවිතා කිරීමෙන් පහසුවෙන් මූල්‍යනය කර ගත හැකිව තිබුණි” යනුවෙන්ද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

ඒ අනුව පොදුවේ පිළිගත හැකි කරුණක් නම් අපනයනයකට එහි අරමුණ ළගා කර ගත හැක්කේ අපනයනය මගින් ජනනය කෙරෙන විදේශ විනිමය ප්‍රවාහය අවසානයේ රටේ මූල්‍ය පද්ධතිය තුළට දේශීය ව්‍යාවහාර මුදල් ලෙස ඇතුළත් වීමෙන් පසුව යන්න බව මහ බැංකුවේ විශ්වාසය බවද මෙහිදී සඳහන් කෙරී ඇත.

“එහෙත් අපනයන ඉපැයීම් අවසාන වශයෙන් දේශීය ව්‍යවහාර මුදල්වලට පරිවර්තනය නොවන්නේ නම් මෙම අරමුණ සාක්ෂාත් කරගත නොහැකි වනු ඇති අතර, මෙම අරමුණ ළගා කරගැනීමට මගපාදන ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය පද්ධති ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් පියවරගත යුතුව ඇත.” යනුවෙන්ද මහ බැංකුව සඳහන් කරයි.

මේ අතර, 2020 වසරට සාපේක්ෂව 2021 වසරේදී ශ්‍රී ලංකාවේ වෙළෙඳ අපනයන අංශය සැලකිය යුතු වැඩි දියුණු වීමක් පෙන්නුම් කර තිබෙන බවද මහ බැංකුව පවසයි.

විශේෂයෙන්ම නවතම රේගුදත්තවලට අනුව 2021 වසරේ ජූනි අගෝස්තු කාලය තුළ මෙරට අපනයන ඉපැයීම්වල සාමාන්‍ය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,064ක් වී තිබේ. ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල විශාලතම විදේශ විනිමය උපයන්නා වෙළෙඳ භාණ්ඩ අපනයන අංශය වන බැවින් මෙම අගය කළ හැකි ප්‍රවණතාවක් බවද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 390