“මෙරට වතු ප්‍රජාව වෙත COVID-19 එන්නත්කරණය සාර්ථකව” – ආචාර්ය රොෂාන් රාජදුරෙයි

වතුකරයේ ජීවත් වන සියලූ ප‍්‍රජාවන් ආරක්ෂා කිරීමේ අරමුණින් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය හා වැවිලි මානව සංවර්ධන භාරය (PHDT) ක‍්‍රියාත්මක කළ සාමූහික ප‍්‍රයත්නය විශාල ප‍්‍රගතියක් අත්කර ගනිමින් 2021 සැප්තැම්බර් 10 දින වන විට කලාප 7කට අයත් වතු ප‍්‍රජාවෙන් 85% කට වැඩි ප‍්‍රමාණයකට කොවිඞ් ප‍්‍රතිශක්තීකරණ එන්නතේ පළමු මාත‍්‍රවත් 63% ප‍්‍රමාණයකට සම්පූර්ණ ලෙස මාත‍්‍රා දෙකමත් ලබා දී අවසන් බව නිවේදනය කර සිටියි.

සෞඛ්‍ය අමාත්‍යාංශය, වැවිලි මානව සංවර්ධන භාරය හා කලාපීය වැවිලි සමාගම් (RPCs) එක්ව වතු සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් එන්නත් කිරීමේ වැඩපිළිවෙල කඩිනම් කිරීමට විධි විධාන සලසා තිබේ.

”කොවිඞ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව නැවත වරක් ඉහළ යාමත් සමඟ, අපගේ වතු සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල ආරක්ෂාව තහවුරු කිරීම, සියලූම කලාපීය වැවිලි සමාගම්වල ප‍්‍රමුඛතාවය වී තිබෙනවා. එන්නත් කිරීමේ වැඩපිළිවෙල ක‍්‍රමානුකූලව සිදු කෙරෙන අතර ආරක්ෂක ක‍්‍රියාමාර්ග ශක්තිමත් කිරීම සඳහා අප අඛණ්ඩව ආයෝඡුන සිදු කරමින් සිටිනවා. අපගේ අරමුණ වන්නේ 2021 සැප්තැම්බර් අවසානය වන විට අපගේ සියලූම වතු සේවකයින්ට සහ වතුකරයේ සමස්ත ප‍්‍රජාවට සම්පූර්ණ එන්නත් මාත‍්‍රා දෙකම ලබා දීමයි.’’ යනුවෙන් ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා පැවසුවේය.

‘‘මෙම එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට රජය ඇතුළු අනෙකුත් බලධාරීන් ලබා දෙන ඉමහත් දායකත්වය පිළිබඳව අප බොහෝ සෙයින් කෘතඥ වන අතර අපගේ සියලූම වතු සේවකයින්ගේ ආරක්ෂාව සහ සුබ සාධනය සඳහා මුළුමනින්ම කැපවන බවට අප සහතික වනවා.”

සැප්තැම්බර් 10 වෙනිදා වන විට වයස අවුරුදු 30-59 අතර පිරිසෙන් 87% කට වැඩි ප‍්‍රමාණයක් කොවිඞ් එන්නතේ පළමු මාත‍්‍රාව ද 58% කට වැඩි පිරිසක් ඔවුන්ගේ දෙවන මාත‍්‍රාව ද මේ දක්වා ලබා ගෙන තිබේ. මෙහිදී වයස අවුරුදු 60 ට වැඩි අය සඳහා ද ප‍්‍රමුඛතාවය ලබා දුන් අතර, ඔවුන්ගෙන් 92% කට වැඩි ප‍්‍රමාණයක් පළමු එන්නත ද 79% කට වැඩි ප‍්‍රමාණයක් දෙවන මාත‍්‍රාවද ලබා ගෙන ඇත.

වතු කම්කරුවන් විශාල සංඛ්‍යාවක් ජීවත් වන නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙන් (හැටන් සහ නුවරඑළිය ආවරණය කරමින්) මෙම එන්නත් කිරීමේ වැඩසටහන ආරම්භ කළ බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සඳහන් කළේය. වයස අවුරුදු 30-60 අතර පසුවන්නන්ගෙන් 85% කට වැඩි ප‍්‍රමාණයක් මේ වන විටත් පළමු මාත‍්‍රාව ලබා ගෙන ඇති අතර 54% කට වඩා වැඩි පිරිසකට ‌දෙවන මාත‍්‍රාව ලබා දී ඇත. මේ අතර, වැවිලි සමාගම් ඇති වෙනත් දිස්ත‍්‍රික්කවල එම වයසේම පසුවන පුද්ගලයින්ගෙන් 89% කට වැඩි ප‍්‍රමාණයක් පළමු මාත‍්‍රාව ලබා ගෙන ඇති අතර 62% කට දෙවන මාත‍්‍රාව ලබා දී ඇත.

‘‘මෙම කොවිඞ් එන්නත් ලබා දීම අදියර තුනක් යටතේ සිදු වූ අතර එහිදී ඉදිරි පෙළ සේවකයින්ට පළමුවත්, ප‍්‍රජා නායකයින් ඇතුළුව කර්මාන්තශාලා සේවකයින්ට දෙවනුවත් සහ කාර්ය මණ්ඩලය හා අනෙක් ජනතාවට තෙවනුවත් වශයෙන් ක‍්‍රියාත්මක වුනා. තෙවන අදියරේ අවසාන භාගයට අප පැමිණ ඇති බව අප සතුටින් සඳහන් කිරීමට කැමතියි. අදාළ පාර්ශවවල සහාය නොමැතිව මෙම එන්නත් ලබා දීම කඩිනමින් සිදු කිරීමට නොහැකි වීමට තිබුණා. කොවිඞ් එන්නත් ලබා දීමට පෙර MoH නිලධාරීන් හා PHI නිලධාරීන් සමඟ වතු කළමනාකරුවන් සමීපව කටයුතු කරමින් මෙම එන්නත පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබුවා. මෙමඟින් එන්නත් කෙරෙහි ප‍්‍රජාව තුළ තිබූ අනියත සැක සංකා බෙහෙවින් අඩු වූ අතර වතුකරයේ සාර්ථකව එන්නත් ලබා දීමට එය ඉවහල් වුනා.’’ යනුවෙන් PHDT අධ්‍යක්ෂ ජනරාල් ලාල් පෙරේරා මහතා පැවසීය.

Visits: 94