ප්‍රධානතම පොල් පාදක නිෂ්පාදන අපනයනයන් සියල්ලගේම ආදායම් අගෝස්තුවේදී ඉහළට

ශ්‍රී ලංකාව මගින් සිදු කරන සියලුම ආකාරයේ ප්‍රධානතම පොල් පාදක කරගත් නිෂ්පාදන අපනයනයන් පසුගිය අගෝස්තු මාසයේදී කැපී පෙනෙන ඉහළයාමක් පෙන්නුම් කර ඇතැයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

අගෝස්තු මාසය සඳහා වන අපනයන කාර්සාධනය පිළීබඳ වාර්තාව ඉදිරිපත් කරමින් එම මණ්ඩලය මේ බව සඳහන් කරයි.

එහි සඳහන් ආකාරයට 2021 අගෝස්තු මාසයේදී මෙරට සිදු කර ඇති පොල් පාදක නිෂ්පාදන අපනයනයේ සමස්ත ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 73.95කි. එය පසුගිය වසරේ අගෝස්තුවේදී හිමි කරගත් එම ආදායමවූ ඩොලර් මිලින 65.32ට සාපේක්ෂව 13.21%ක වර්ධයකි.

ඒ අනුව 2021 අගෝස්තු මාසයේදී පොල් මදය ආශ්‍රිත නිෂ්පාදන යටතට ගැගෙනන දිසිදි පොල්, දියරමය පොල් කිරි සහ පොල් ක්‍රීම් කාණ්ඩයේ නිෂ්පාදනවල අපනයන ආදායම් 2020 අගෝස්තු මාසයට සාපේක්ෂව පිළිවෙලින් 42.82%කින්, 13.8%කින් සහ 72.94%කින් ඉහළ ගොස් තිබේ.

එසේම පොල් කෙඳි ආශ්‍රිත නිෂ්පාදන ලෙස ගැනෙන කොහුබත්, කොහුබත් කුට්ටි සහ කොහු බත් යොදා ගෙන සිදු කරන අච්චු නිෂ්පාදන යනාදියේ ආදායම් 2020 අගෝස්තු මාසයට සාපේක්ෂව 2021 අගෝස්තු මාසයේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 17.38ක් දක්වා 28.55%කින් ඉහළ ගොස් තිබේ.

මීට අමතරව පොල් කටුව ආශ්‍රිත නිෂ්පාදන ලෙස ගැනෙන සක්‍රීය කාබන් නිෂ්පාදන අපනයනය හරහා ලැබුණු ආදායම 2020 අගෝස්තු මාසයට සාපේක්ෂව 2021 අගෝස්තු මාසයේදී 1.72%කින් ඉහළ නැග තිබේ.

මේ අතර 2021 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ දී මෙරට පොල් පාදක නිෂ්පාදන අපනයනය හරහා ලැබූ සමස්ත ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 538.41ක් ලෙස සටහන්ව ඇත. එය 2020 අගෝස්තුවේදී හිමිව ඇති එම නිෂ්පාදන අපනයන ආදායම වූ ඩොලර් මිලියන 421.70ට සාපේක්ෂව 27.68%ක වර්ධනයකි.

Visits: 439