සෑම මාසයකදීම ස.තො.සට සැමන් ටින් ලක්ෂ 04ක් සැපයීමට ටින් මාළු නිෂ්පාදකයින්ගෙන් පොරොන්දුවක්

ස.තො.ස ආයතනය වෙත රුපියල් 285ක තොග මිල යටතේ සැමන් ටින් ලක්ෂ 04ක් සැපයීමට මෙරට ප්‍රධානතම සැමන් ටින් නිෂ්පාදකයන් 07 දෙනෙකු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා වෙත පොරොන්දු වූ බව එම අමාත්‍යාංශ පවසයි.

එම නිෂ්පාදකයන් ඊයේ (2021.09.23) දිනයේදී Zoom තාක්ෂණය ඔස්සේ ධිවර අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකදී මෙම පොරොන්දුව ලබා දී ඇතැයිද සඳහන් වෙයි.

ශ්‍රී ලංකාවේ වෙළදපල තුල මේ දිනවල පවතින ටින් මාළු හිගය අවම කිරීම සදහා අවශ්‍ය පියවර ගැනීමට ධීවර අමාත්‍යවරයා විසින් මෙය සාකච්ඡාව කැදවා තිබී ඇත. මෙහිදී ටින් මාළු නිෂ්පාදකයින් ඔවුන්ට පැන නැගී ඇති ගැටළු රාශියක් පිළිබදව අමාත්‍යවරයා දැනුවත් කරන ලදි. මේ පිළිබද අවධානය යොමු කල අමාත්‍යවරයා මෙම ගැටළු සදහා විසදුම් ලබා දීමට කටයුතු කරන බවද පැවසීය.

“කෙසේ වෙතත් මෙම වෙළදපොලේ පවතින ටින් මාළු හිගය අවම කිරීම සදහා තමන්ට දිය හැකි උපරිම සහාය රජයට ලබා දීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා බව ටින්මාළු නිශ්පාදකයන් විසින් අමාත්‍යවරයා වෙත පවසා සිටින ලදි. පවතින කොරෝනා වසංගතය හේතුවෙන් ටින්මාළු කර්මාන්තශාලා වල නිෂ්පාදන කටයුතු ඇණහිට ඇති බවත් නමුත් කඩිනමින් කර්මාන්තශාලා පටන්ගෙන ස.තො.ස ආයතනය වෙත මසකට ටින් මාළු ලක්ෂ 04ක් ලබා දීමට පොරොන්දු විය.” යනුවෙන් අමාත්‍යාංශය පවසයි.

ටින් මාළු කර්මාන්තයට බලපාන ගැටළුවක් වන මාළු වල ආසනික ද්‍රව්‍ය අන්තර්ගහණය වැඩි බවට ප්‍රමිති කාර්යාංශය පවසා තිබේ. නමුත් ප්‍රමිති කාර්යාංශය සතුව මේ සදහා සුදුසු පර්යේෂණාගාර පහසුකම් නොමැති  බව ටින්මාළු නිශ්පාදකයන් විසින් පෙන්වා දී ඇත.  ඒ සදහා අවශ්‍ය විසදුම් ප්‍රමිති කාර්යාංශය හා ඊට අදාල අනෙකුත් ආයතන හා එක්ව සාකච්ඡා කොට  අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා පවසා තිබේ.

මෙම සාකච්ඡාව සදහා අමාත්‍යාංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, අධ්‍යක්ෂ ජනරාල්(තාක්ෂණ ) ධම්මික රණතුංග මහතා ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.

Visits: 152