රේණුකා කැපිටල් පීඑල්සී Shaw Wallace & Hedges හි රු. මිලියන 87ක් වටිනා කොටස් මිලදී ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත රේණුකා කැපිටල් පීඑල්සී සමාගම මගින් සිය සමූහයට අයත් හවුල්කාර සමාගමක් වන Shaw Wallace & Hedges පෞද්ගලික සමාගමෙහි සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 7.6ක් අවස්ථා දෙකකදී මිලදී ගෙන ඇතැයි පවසයි.

මෙය රේනුකා කැපිටල් පීඑල්සී සමාගම මගින් සිදු කරන ලද සබැඳි පාර්ශ්ව ගනුදෙනු ලෙස සටහන්ව තිබේ.

පසුගිය අගෝස්තු 31 වැනිදා සහ සැප්තැම්බර් 15 වැනිදා සිදුකළ ගනුදෙනු යටතේ මෙම මිලදී ගැනීම් සිදු කර තිබේ. ඒ අනුව මෙම සමස්ත මිලදී ගැනීම් සඳහා රේනුකා කැපිටල් පීඑල්සී සමාගම සිදු කර ඇති ආයෝජනය රුපියල් මිලියන 87.7ක් (87,704,000ක්) බවත් සඳහන්ව තිබේ.

රේනුකා කැපිටල් පීඑල්සී සමාගම සඳහන් කරන ආකාරයට පසුගිය අගෝස්තු 31 වැනිදා එම සමාගම මගින් Shaw Wallace & Hedges පෞද්ගලික සමාගමෙහි සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 3.6ක් (3,600,000ක්) මිලදී ගෙන තිබේ. මෙහිදී කොටසක් රුපියල් 11.54කට මිල කෙරී ඇති අතර සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 41.5ක් (41,544,000ක්) වෙයි.

මේ අතර පසුගිය සැප්තැම්බර් 15 වැනිදාද රේනුකා කැපිටල් පීඑල්සී සමාගම මගින් Shaw Wallace & Hedges පෞද්ගලික සමාගමෙහි සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 4ක් (4,000,000ක්) මිලදී ගෙන තිබේ. එහිදීද කොටසක් රුපියල් 11.54ක් බැගින් මිලදී ගැනීම සිදුව ඇති අතර, සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 46.1ක් (41,160,000ක්) ලෙස ගණන් බලා තිබේ.

මෙම මිලදී ගැනීම් දෙකම රේනුකා කැපිටල් පීඑල්සී විසින් සිදු කරන ලද ආයෝජන බව එම සමාගම මගින් කොළඹ කොටස් හුවමාරුව වෙත මෙන්ම සිය කොටස් හිමිකරුවන් වෙතද දැනුම් දී සිටියි.

ඒ අනුව මෙම ගනුදෙනු දෙක හරහාම මිලදී ගෙන ඇති Shaw Wallace & Hedges පෞද්ගලික සමාගමෙහි සමස්ත කොටස් ප්‍රමාණය කොටස් 7,600,000කි. එහි වටිනාකම රුපියල් 87,704,000ක් බව පැවසෙයි.

ඒ අනුව මෙම ගනුදෙනු දෙකද සමගින් රේණුකා කැපිටල් පීඑල්සී සමාගම සහ Shaw Wallace & Hedges පෞද්ගලික සමාගම අතර මෙම මූල්‍ය වර්ෂය තුළ සිදු වුණු සබැඳි පාර්ශ්ව අතර ගනුදෙනුවල වටිනාකම රුපියල් මිලියන 145ක් (145,514,000ක්) බවත්, මෙම කාලසීමාව තුළදී සිදුව ඇති සමස්ත සබැඳි පාර්ශ්ව අතර ගනුදෙනුවල වටිනාකම රුපියල් මිලියන 146ක් (146,262,688ක්) බවත් රේනුකා කැපිටල් පීඑල්සී සඳහන් කරයි.

Visits: 285