මාදිවෙල ‘කොළඹ කුරුළු උද්‍යාන’ ව්‍යාපෘතිය වසර 30කට කලම්බු බර්ඩ් පාර්ක් (පෞද්ගලික) සමාගමට

ශ්‍රී ජයවර්ධනපුර, මාදිවෙල පිහිටි ‘කොළඹ කුරුළු උද්‍යාන’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන ඉඩම වසර 30ක කාලසීමාවක් සඳහා කලම්බු බර්ඩ් පාර්ක් (පෞද්ගලික) සමාගම වෙත බදු පදනම මත ලබා දීම සඳහා රජය තීරණය කර ඇතැයි පවසයි.

ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ හමුවේදී මේ පිළිබඳව අනාවරණය කෙරිණි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් අගමැතිවරයා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී ඊට අනුමැතිය ලැබී තිබේ.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙම ඉඩම අක්කර 37යි රූඩ් 01යි පර්චස් 20.44ක විශාලත්වයක් ගන්නා බව රජය පවසයි.

ඒ අනුව මෙම ඉඩම් කොටමේ සැලසුම් කිරීම, මූල්‍යයනය, ඉදිකිරීම හා ක්‍රියාත්මක කිරීම යන පදනම මත කුරුළු උද්‍යාන ව්‍යාපෘතියක් සහ ඒ ආශ්‍රිත අපරව්‍යුහ පහසුකම් ක්‍රියාත්මක කිරීම සඳහා තරගකාරි ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ යෝජනා කැඳවීමක් සිදු කර තිබේ.

එහිදී අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර සාකච්ඡා සම්මුති කමිටුව විසින් කලම්බු බර්ඩ් පාර්ක් (පෞද්ගලික) සමාගම විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව නිර්දේශ කර තිබේ.

එසේම එකී නිර්දේශය සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ කළමනාකරණ මණ්ඩලයේ අනුමැතිය ද ලැබී ඇත.

ඒ අනුව, අදාළ ඉඩම් කොටස වසර 30ක කාලසීමාවක් සඳහා කලම්බු බර්ඩ් පාර්ක් (පෞද්ගලික) සමාගම වෙත බදු පදනම මත ලබා දීම පිණිස මෙලෙස තීරණය කෙරී තිබේ. අංක 133/A, පාගොඩ පාර, පිටකෝට්ටේ, කෝට්ටේ ලිපිනයේ පිහිටි මෙම කලම්බු බර්ඩ් පාර්ක් පෞද්ගලික සමාගම මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීමේ යෝජකයා ලෙසින්ද නම් වී තිබුණි.

ඒ අනුව පසුගිය ජූනි මාසයේ අගදී එහි ඉදිකිරීම් නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය මගින් ආරම්භ කිරීමද සිදු විය.

Visits: 139