EML Consultant කොටස් හුවාරුවේ EMPOWER පුවරුවෙහි ලැයිස්තුගතවීම 27 දා

කොළඹ කොටස් හුවමාරුවෙහි EMPOWER පුවරුවෙහි ලැයිස්තුගත වන දෙවැනි සමාගම ලෙස EML Consultant Limited සමාගම ලබන සැප්තැම්බර් 27 වැනිදා සිය කොටස් ලැයිස්තුගත කරන බව නිවේදනය කර සිටියි.

ඒ අනුව EML Consultant Limited සමාගම මගින් සිය සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 90.9ක් (90,900,000ක්) ලැයිස්තුගත කිරිමට සූදානමින් සිටියි. මෙහිදී එක් කොටසක් රුපියල් 2 බැගින් මිල කෙරී ඇතැයිද සඳහන් වෙයි.

EML-N-0000 යන කේතය යටතේ EML Consultant Limited කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීම සිදු වෙයි.

මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙත කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීම සඳහා මෙම EMPOWER පුවරුව ඉදිරිපත් කර තිබේ. එම පුවරුවෙහි ලැයිස්තුගත වූ පළමු සමාගම ලෙස Chrisworld Limted සමාගම දැනට මාස කිහිපයකට පෙර සිය කොටස් ලැයිස්තුගත කිරීමක් සිදු විය.

කොළඹ කොටස් හුවමාරුව මගින් පසුගියදා EML Consultant Limited සඳහාද සිය කොටස් එම පුවරුවෙහි ලැයිස්තුගත කිරීම සඳහා වන අනුමැතිය ලබා දී තිබේ.

මෙම ලැයිස්තුගත කිරීමේ කටයුත්තේ මූල්‍යමය උපදේශකත්වය සහ කළමනාකරුවා ලෙස Atarah Capital Partners සමාගම කටයුතු කරන බවත් පවසයි. එම සමාගම මීට පෙර Chrisworld Ltd ඉතාමත් සාර්ථක ලෙස Empower පුවරුවෙහි ලැයිස්තුගත කිරීමට සමත් වූ බවත් පවසයි.

1993 වසරේදී ස්ථාපිත කෙරුණු EML Consultant Limited සමාගම විවිධ කර්මාන්ත සහ ක්ෂේත්‍ර කෙරෙහි  තාක්ෂණික සහ කළමනාකරණ උපදේශක සේවා සැපයීම සඳහා ප්‍රකට සමාගමකි.

එහිදී එම සමාගම සමාජයන් සහ ජීවනෝපායන් සංවර්ධනය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්, ශක්‍යතා සහ පාරිසරික අධ්‍යයනයන්, දේශගුණික විපර්යාස, ජෛවවිවිධත්වය සහ පරිසරපද්ධති, සමාජආර්ථික සමීක්ෂණ, ආයතනික සංවර්ධනය, සංකල්පීය සහ සවිස්තර නිර්මාණය, උරුමය සහ සංස්කෘතිය, පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධ යටිතලපහසුකම් ව්‍යාපෘති මෙන්ම ජල සැපයුම්, අපද්‍රව්‍ය බැහැර කිරීම්, මාර්ග, ප්‍රවාහනය සහ වෙරළ කළමනාකරණය යනාදි ක්ෂේත්‍ර තුළද EML Consultant Limited සමාගම සිය සේවා ව්‍යාප්ත කර තිබේ.

වර්තමානයේදී EML Consultant Limited සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලය වන්නේ සභාපති, විධායක නොවන සහ ස්වාධීන නොවන අධ්‍යක්ෂ තිලක් හේවාවසම්, කළමනාකරණ අධ්‍යක්ෂ අවන්ති ජයතිලක, විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂ එච්.එන්.ජේ. චන්ද්‍රෙස්කර සහ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂ කේ.පී.පී.එච්. මිහිරිපැන්න යන මහත්වරුන්ය.

Visits: 815