මුදල් මණ්ඩලයේ නව ලේකම්වරයා ලෙස ජේ.පී.ආර්. කරුණාරත්න මහතා පත් කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් මණ්ඩලයේ නව ලේකම්වරයා ලෙස මහ බැංකු සහකාර අධිපතිවරයෙකු වන ජේ.පී.ආර්. කරුණාරත්න මහතා පත් කෙරුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. පසුගිය සැප්තැම්බර් 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදුව තිබේ.

මාස 34ක කාලයක් එම ධුරය දැරූ කේ.එම්.ඒ.එන්. දවුලගල මහත්මිය පසුගියදා ඉන් ඉවත් කිරීමෙන් අනතුරුව හිස් වූ මුදල් මණ්ඩල ලේකම් ධුරය සඳහා මෙලෙස කරුණාරත්න මහතා පත් කෙරී තිබේ.

සහකාර අධිපති කරුණාරත්න මහතා ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයෙන් මූල්‍යය පිළිබඳ වාණිජ විද්‍යාධිපති උපාධියද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යවහාර සංඛ්‍යානය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සහ භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියද ලබා ගෙන ඇත.

එසේම කරුණාරත්න මහතා එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ අධි සාමාජිකත්වය සහ ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ ආශ්‍රිත සාමාජිකත්වයද දරන බවද මහ බැංකුව සඳහන් කරයි.

මේ අතර මුදල් මණ්ඩල ලේකම්වරයාගේ කාර්ය භාරයන් සහ වගකීම් කලින් කලට විවිධ වෙනස්වීම්වලට යටත් වන බවත්, කාලයෙන් කාලයට නිලතල මාරුවීමක් සිදුවන බවත් මහ බැංකුව පවසයි.

ඒ අනුව 2015 පෙබරවාරි මාසයේ සිට ගතවුණු කාලසීමාවේදී මුදල් මණ්ඩලයෙහි ලේකම්වරුන් ලෙස සිව් දෙනෙකු පත් කර තිබේ. එහිදී එතෙක් මාස හයක කාලයක් එම ධුරය දැරූ සහකාර අධිපති සී.ජේ.පී. සිරිවර්ධන මහතා වෙනුවට 2015 පෙබරවාරි සිට සහකාර උධිපති එච්.ඒ. කරුණාරත්න මහතා පත් වී තිබේ.

එසේම 2015 නොවැම්බර් මාසයේදී මුදල් මණ්ඩලයෙහි නියෝජ්‍ය ලේකම් ලෙස විශේෂ තනතුරක් නිර්මාණය කර කේ.එම්.ඒ.එන්. දවුලගල මහත්මිය එම තනතුරට පත් කර තිබේ. මේ අතරම මුදල් මණ්ඩල ලේකම්ධූරයේ මාස 16ක් සේවය කළ සහකාර අධිපති කරුණාරත්න මහතා වෙනුවට සහකාර අධිපති කේ.ඩී. රණසිංහ මහතා 2016 ජූනි මාසයේදී පත් කර තිබේ.

එහෙත් මාසයක කාලයක් පමණක් රණසිංහ මහතා එම ධුරයේ කටයුතු කළ අතර, යළිත් වරක් එච්.ඒ. කරුණාරත්න මහතා එම ධුරයට පත් කෙරිණි. ඒ අනුව කරුණාරත්න මහතා මාස 29ක කාලයක් එම ධුරයේ කටයුතු කර ඇති අතර, 2018 නොවැම්බර් මාසයේදී කේ.එම්.ඒ.එන්. දවුලගල මහත්මිය එම ධුරයට පත් කර තිබේ. එසේම මේ දක්වා මුදල් මණ්ඩල නියෝජ්‍ය ලේකම් තනතුර පිරවීමක්ද සිදු කර නැත.

ඒ අනුව මෙහිදී දවුලගල මහත්මිය මුදල් මණ්ඩලයේ ලේකම්වරිය ලෙස මාස 34ක කාලයක්ද, නියෝජ්‍ය ලේකම්වරිය ලෙස මාස 36ක කාලයක්ද සේවය කර තිබේ. ජේ.පී.ආර්. කර්ණාරත්න මහතා පත් කෙරෙන්නේ ඇයගෙන් හිස් වන පුරප්පාඩුවට බවද මහ බැංකුව පවසයි.

මෙලෙස ඉහත සඳහන් පරිදි ජ්‍යෙෂ්ඨ නිලධෘරීන් ඇතුළූ ශ්‍රී ලංකා මහ බැංකුවේ සියලු නිලධාරීන්ට පවරා ඇති වගකීම් සහ කාර්යභාරයන් ශ්‍රී ලංකා මහ බැංකුවෙහි යහපත පිණිස එහි කළමනාකාරීත්වය විසින් කලින් කලට වෙනස් කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙයි. එසේම මූල්‍ය ආයතනයක කාර්ය මණ්ඩල ස්ථාන මාරු සහ නිලධාරීන්ගේ මාරුවීම් සිදු කිරීම අභ්‍යන්තර පාලනයේ සහ අභ්‍යන්තර පරීක්ෂාවෙහි අත්‍යවශ්‍යම අංගයක් බවද මහ බැංකුව අවධාරණය කරයි.

Visits: 67