“මාස 6ක කෙටි කාලීන ආර්ථික ඉදිරි දැක්ම ඔක්. 01 දා” – නව මහ බැංකු අධිපති කබ්රාල්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරි මාස හයක කාලයක් සඳහා වන කෙටි කාලීන ආර්ථික ඉදිරි දැක්මක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

සිය ට්විටර් ගිණුම හරහා පණිවුඩයක් තබමින් අධිපතිවරයා හේ බව සඳහන් කර ඇත.

ඒ අනුව මේ වනවිටත් ඒ සඳහා සූදානමින් සිටින බවත්, මෙම ඉදිරි දැක්ම ලබන ඔක්තෝබර් 01 වැනිදා දියත් කිරීමට සැලසුම් කරන බවත් ඔහු පවසයි.

මෙහිදී සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි එම ඉදිරි දැක්ම සකස් කිරීමට බලාපොරොත්තු වන බවත්, එහිදී ‘ අනිවාර්යයෙන් සිදු කළ යුතු වැඩ ලැයිස්තුවක්‘ සකස් කිරිම සිදු කරන බවත් ඔහු පවසයි.

සැප්තැම්බර් 15 වැනිදා ඒ මහතා මහ බැංකුවෙහි 16 වැනි අධිපතිවරයා ලෙස පත් වූ අතර, පසුගියදා ඒ මහතා මහ බැංකුවෙහි ප්‍රධාන නිලධාරීන් හමුවී මෙම වැඩපිළිවෙල පිළිබඳව සිය පළමු සාකච්ඡාව පවත්වා තිබේ.

මහ බැංකුව විසින් සෑම වසරකම පළමු සතියේදී එම වසරට අදාළ ඉදිරි දැක්ම ඉදිරිපත් කරන අතර, මේ වසර සඳහා වන ඉදිරි දැක්ම 2021 හිටපු මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් පසුගිය ජනවාරි මාසයේදී එළිදක්වන ලදි.

Visits: 283