Ex-Pack මූලික මහජන කොටස් නිකුතුව නුදුරේදීම

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කොරුගේටඩ් ඇසුරුම් (Corrugated carton) නිෂ්පාදකයා වන Ex-Pack Corrugated Cartons සමාගම සිය ගමන් මගේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මූලික මහජන කොටස් නිකුතුව පැවැත්වීමට සැලසුම් කර ඇති බව පසුගියදා නිවේදනය කළේ ය.

මීට සමගාමීව එම සමාගම කොළඹ කොටස් වෙළඳපොළෙහි ලියාපදිංචි වනු ඇත. Ex-Pack Corrugated Cartons සමාගම යනු Aberdeen Holdings සමාගමේ පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගමකි.

මීට පෙර Expolanka Investments (පුද්.) සමාගම ලෙස හැඳින්වුණු Aberdeen Holdings සමාගම, පවුල් සමාගමක් ලෙස ආරම්භ වූ, වසර 30 කට අධික ඉතිහාසයක් සහිත, රට තුළ විශාල කීර්තියක් දිනාගත් සමාගමක් වේ. මේ වනවිට එම සමාගම ඖෂධ, වෙළඳ භාණ්ඩ, ගුවන් සේවා, ප්‍රවාහන, බලශක්ති, කෘෂිකර්මාන්තය, ඇසුරුම්, ප්‍රතිචක්‍රීකරණ, සැපයුම් දාම සහ කාර්ය සම්පාදන ඇතුළු ක්ෂේත්‍ර රාශියක් වෙත ව්‍යාප්ත වී ඇත.

“Ex-Pack සමාගම මේ වනවිට ව්‍යාපාර අතර ගනුදෙනු (B2B) අවකාශයේ ඉහළ පිළිගැනීමක් හිමිකර ගැනීමට සමත් වී තිබෙන අතර, කොරුගේටඩ් ඇසුරුම් පෙට්ටි සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තරය තුළත් විශාල ජනප්‍රියත්වයක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා. උසස් තත්ත්වය හා විශ්වාසනීයත්වය අතින් සමකළ නොහැකි පිළිගැනීමක් සමගින්, නිෂ්පාදනය මෙන්ම අපනයනය සම්බන්ධයෙන්ද මෙරට වෙළඳපොළ ප්‍රමුඛයා බවට පත්වීමට හැකිවීම අපට විශාල සතුටක්. ලොව පුරා පාරිභෝගික භාණ්ඩ, ඇඟලුම්, තේ සහ ධීවර කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර රැසක ඉහළම තලයේ සමාගම් හා සන්නාමයන් අපගේ පාරිභෝගිකයන් බවට පත්වී තිබෙනවා. වර්ග අඩි 203,000 ක පමණ විශාලත්වයකින් යුත් අපගේ කර්මාන්තශාලාව තුළ සේවය කරන 295 ක පිරිස මසකට නිපදවන කොරුගේටඩ් ඇසුරුම් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 2,650 කට ආසන්නයි. අපගේ සමූහයේ ආදායමින් 52% ක් පමණම ලැබෙන්නේ ඇමරිකානු ඩොලර් වලින් වීම තවත් විශේෂත්වයක්. මෙම මහජන කොටස් නිකුතුව මගින් ලැබෙන අරමුදල් නව කර්මාන්තශාලාවක් වෙනුවෙන් ආයෝජනය කර, අපගේ මාසික නිෂ්පාදන ධාරිතාව 2025 වසර වන විට මෙට්‍රික් ටොන් 4,000 දක්වා වර්ධනය කරගැනීමට අප බලාපොරොත්තු වනවා.”  Ex-Pack Corrugated Cartons සමාගමේ සභාපති සට්ටාර් කාසිම් මහතා පැවසී ය.

මෙම කොටස් නිකුතුව යටතේ සමාගමෙන් 25% ක ප්‍රතිශතයක්, එනම් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 83,333,333 ක් නිකුත් කරමින් රු. මිලියන 700 ක් ඉපයීමට සමාගම අපේක්ෂා කරයි. මෙම එක් කොටසක් රු. 8.40 කට මිල කර ඇති අතර, මෙහි අපේක්ෂිත වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 2.8 කි.

මෙම කොටස් නිකුතුවෙන් ලැබෙන අරමුදල් මෙන්ම, ප්‍රධාන වශයෙන් සමාගමේ අභ්‍යන්තර අරමුදල් සහ ණය පහසුකම් ඔස්සේ සපයා ගනු ලබන අරමුදල් යොදවා, රු. බිලියන 2.98 ක වියදමකින් අතිනවීන නිෂ්පාදන කර්මාන්තශාලාවක් ඉදිකිරීමට  Ex-Pack Corrugated Cartons සමාගම සැලසුම් කර ඇත.

“අපගේ නායකත්ව කණ්ඩායමේ මගපෙන්වීම සහ මවු සමාගමේ පිටුබලය සමගින්, ශ්‍රී ලංකාවේ කොරුගේටඩ් ඇසුරුම් කර්මාන්තයේ සෙසු සමාගම් අතර ඉදිරියටම පැමිණීමට Ex-Pack Corrugated Cartons සමාගම සමත් වී තිබෙනවා. සාම්ප්‍රදායික නිෂ්පාදන සමාගමක් ලෙස ආරම්භ වී, ඉන් පසුව පූර්ණ-සේවා කොරුගේටඩ් ඇසුරුම් සැපයුම්කරුවෙකු බවට පත්වූ අප සමාගම, ශ්‍රී ලංකාවේ නිපදවනු ලබන සමස්ත කොරුගේටඩ් ඇසුරුම් ප්‍රමාණයෙන් 5 කින් 1 ක් නිපදවන අතර, ශක්තිමත් ජාත්‍යන්තර ආවරණ පරාසයක් සහිත එකම ශ්‍රී ලාංකික කොරුගේටඩ් ඇසුරුම් නිෂ්පාදන සමාගමයි. මෙම සුවිශේෂී සාධක, Ex-Pack සමාගමේ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන ආයෝජකයන්ගේ අවධානය දිනාගනු ඇති බවට සැකයක් නැහැ.” Ex-Pack Corrugated Cartons සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුල්ෆිකර් ගවුස් මහතා පැවසී ය.

තිරසාරත්වය සහ වගකීම්සහගත ව්‍යාපාරකරණය යනු Ex-Pack Corrugated Cartons සමාගමේ ව්‍යාපාර සම්ප්‍රදායේ අනිවාර්ය අංග දෙකකි. මෙම ගුණාංග එහි පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගමක් වන Neptune Papers සමාගමේ ක්‍රියාකාරීත්වය මගින්ද මනාව පැහැදිලි වේ. ප්‍රතිචක්‍රීකරණය සහ කඩදාසි සේවාවන් සම්බන්ධ පුරෝගාමියෙකු වන Neptune Papers සමාගම, Ex-Pack සමාගමේ ආදායමෙන් 30% කට පමණ දායක වෙයි. තවද ප්‍රජා සත්කාරයන් සහ පරිසර හිතකාමී වැඩසටහන් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකරන වගකීම් සහගත ආයතනික පුරවැසියෙකු සහ සේවායෝජකයෙකු ලෙස කීර්තියක් දිනාගැනීමටද සමාගම සමත් වී ඇත.

Ex-Pack සමාගමේ නිෂ්පාදන අතරට කොරුගේටඩ් ඇසුරුම් වර්ග රාශියක් (Regular slotted cartons, die-cut cartons, laminated cartons) මෙන්ම, ප්‍රතිචක්‍රීකරණය කරන ලද අමුද්‍රව්‍ය යොදාගන්නා සහ පාරිභෝගිකයන්ගේ විශේෂ ඉල්ලීම් අනුව නිපදවන ඇසුරුම් වර්ග රාශියක් ඇතුළත් වී තිබේ. මේ අතරට, ඇඟලුම් වර්ග ගබඩා කිරීම සහ ප්‍රවාහනය කිරීම සඳහා යොදාගනු ලබන හැඟර් සහිත විශේෂ ඇසුරුම් වර්ග සහ, මත්ස්‍ය ප්‍රවාහනයට යොදාගන්නා සැහැල්ලු පෙට්ටි වර්ගද ඇතුළත් ය.

තවද, 2020 වසරේ ශ්‍රී ලංකාවේ පැවති මහ මැතිවරණයේදී නවීන තාක්ෂණය භාවිතා කරමින් ඡන්ද පෙට්ටි 12,350 ක් නිෂ්පාදනය කිරීමටද සමාගම කටයුතු කළේ ය. මේ වනවිට ශ්‍රී ලංකාවට අමතරව මාලදිවයින, කටාර්, ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, මැඩගස්කර‍ය, සීෂෙල්ස් සහ රියූනියන් දූපත යන රටවල් වලටද සමාගමේ ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත වී ඇත.

Visits: 427