ලොක්ඩවුන් සීමා දීර්ඝ වීමත් සමග දර්ශක අගයන් පිට පිට දෙවැනි දිනටත් පහළට

අද දිනයේදී (සැප්තැම්බර් 17) කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භයේ සිටම පසුබැසීමක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. විශේෂයෙන්ම රජයේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව මෙතෙක් පැහැදිලිතාවක් නොපෙන්වීම ඊට මූලිකවම හේතු වී ඇතැයි ඔවුන් පවසයි. එසේම අද දහවල් කාලයේදී රජය ගත් ලොක්ඩවුන් සීමා දිගු කිරීමේ තීරණයත් ආයෝජකයන් වැඩි වශයෙන් ලාභ ඉපැයීම් වෙත යොමුවිමටත්, ගනුදෙනු සඳහා මන්දෝත්සාහීකරවීමටත් හේතු වූ බවත් එම සමාගම් වැඩිදුරටත් පවසයි.

අද දිනයේදී විශේෂයෙන්ම LOLC සමූහයේ සහ ඊට අයත් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමෙහි මෙන්ම හේලීස් සමුහයෙහිත් කොටස් වටිනාකම් අඩුවීම දර්ශක අගයන් පහත වැටීමට දායකත්වය ලබා දී තිබේ.  

ඒ අනුව අද දිනයේදී ඒකක 8,752.96ත් ඒකක 8,868.41ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 8,801.95ක් බවට පත්විය. එය ඊයේ (සැප්තැම්බර් 16) දිනයට සාපේක්ෂව ඒකක 46.09ක් එනම් -0.52%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවලට අනුව එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් සහ සම්පත් බැංකුව තුළ සිදු වුණු ගනුදෙනුව පිරිවැටුමෙන් 4%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 61ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 124ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී CARG (+5.35), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+2.86), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+2.2), සම්පත් බැංකුව SAMP (+1.0), ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ASIR (+0.8), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-9.7), හේලීස් පීඑල්සී HAYL (-5.6), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-5.1), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (-3.3), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (-3.1යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,291.87ක අගයක් ගත් අතර, එය ඊයේ (සැප්තැම්බර් 16) ‍ට සාපේක්ෂව ඒකක 18.12ක එනම් -0.55%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.8ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (සැප්තැම්බර් 16) වාර්තා කළ රුපියල් බිලියන 3.96ට සාපේක්ෂව 4% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.92ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 32.48%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 91.16ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 596.01ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 504.85කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 43.13ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 30.3කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 585.0ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,315ක් සඳහා ප්‍රවාහන අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 35%කි. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 954ක සහ රුපියල් මිලියන 647ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 253