චීන ජාත්‍යන්තර සංචාරක කර්මාන්ත ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාවට වැඩි අවධානයක්

චීනයේ ගුවාන්ෂු හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් චීන (ගුවාංඩොං) ජාත්‍යන්තර සංචාරක කර්මාන්ත ප්‍රදර්ශනය (CITIE) සඳහා ඉදිරිපත් කළ ප්‍රදර්ශන කුටිය සඳහා ඉහළ සංචාරක අවධානයක් හිමි වූ බව එම කාර්යාලය පවසයි.

ගුවාංඩොං පළාතේ සංස්කෘතික හා සංචාරක දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම චීන (ගුවාංඩොං) ජාත්‍යන්තර සංචාරක කර්මාන්ත ප්‍රදර්ශනය (CITIE) 2021 පසුගිය සැප්තැම්බර් 10-12 දිනවලදී පැවැත්වුණි.  

මෙහිදී ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ සංචාරක ආකර්ෂණ ස්ථාන, පුරාවිද්‍යාත්මක හා සංස්කෘතික ස්ථාන පිළිබඳ විචිත්‍රවත් ඡායාරූපවලින් සමන්විතව ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය සැලසුම් කෙරී තිබී ඇත.

ප්‍රදර්ශන කුටිය වෙත අමුත්තන් විශාල සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගනිමින් ශ්‍රී ලංකාවේ අත්කම් භාණ්ඩ කිහිපයක් ද එහිදී ප්‍රදර්ශනය කර ඇති අතර, ඔවුන් වර්තමාන කොවිඩ්-19 තත්ත්වය සහ සංචාරක මග පෙන්වීම පිළිබඳ තොරතුරු ලබා ගත් බව පැවසෙයි.

යුරෝපය, ලතින් ඇමරිකාව, අප්‍රිකාව, ආසියා පැසිෆික් කලාපය සහ මැද පෙරදිග ඇතුළු රටවල් 31 කට අධික සංඛ්‍යාවක සහ චීනයේ කලාපවල කොන්සල් ජනරාල්වරු මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගී වී සිට ඇත.

චීනයේ පළාත් 10 ක නගර 21 ක නියෝජිතයින් ද මෙම ප්‍රදර්ශනය සඳහා එක්ව සිට ඇත. ප්‍රාදේශීය සංචාරක නියෝජිතායතන, හෝටල්, දර්ශනීය ස්ථාන සහ සංස්කෘතික සංචාරක ව්‍යාපාර ද මෙම ප්‍රදර්ශනයේ කොටසක් විය. මෙම ප්‍රදර්ශනය සඳහා අමුත්තන් 100,000 ක් පමණ පැමිණ සිටි බව පැවසෙයි.

චීන (ගුවාංඩොං) ජාත්‍යන්තර සංචාරක කර්මාන්ත ප්‍රදර්ශනය 2005 සිට වාර්ෂිකව සාර්ථකව පවත්වන්නක් වන අතර, ඉහළම මට්ටමේ ජාත්‍යන්තරීකරණය සහිත චීනයේ විශාලතම වෘත්තීය පොළක් ලෙස එය වර්ධනය වී තිබේ. එය සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත ප්‍රදර්ශකයින් සහ ගැනුම්කරුවන් සඳහා තොරතුරු හුවමාරු කර ගැනීම, නිෂ්පාදන මිලදී ගැනීම සහ ව්‍යාපාර සංවර්ධනය සඳහා වූ විශේෂිත වේදිකාවක් බවද ගුවාන්ෂු හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය පවසයි.

Visits: 117