රු.බිලියන 10ක් වටිනා කොමර්ෂල් බැංකු ණයකර නිකුතුවේ මූලික අදියරට අධි දායකත්වයක්

කොමර්ෂල් බැංකුව මගින් ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහිදී විවෘත කරන ලද ණයකර කොටස් මිලියන 50ක නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව එම බැංකුව පවසයි. බාසෙල් III අනුකූල, අදියර 2, ලයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, අප්‍රධාන, පිරිමුදවා ගත හැකි ණයකරයක් ලෙස මෙම නිකුතුව සිදු විය.

මෙහිදී ණයකරයක් රුපියල් 100 බැගින් මිල කෙරී තිබුණු අතර එම මූලික නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 5ක් විය. ඒ අනුව ඊයේ දිනය තුළදී පමණක් මෙම ණයකර කොටස් මිලියන 50 ඉක්මවන ප්‍රමාණයෙන් තමන්ට අයැදුම්පත් හිමි වුණු බව කොමර්ෂල් බැංකුව පවසයි.

මෙහිදී මූලික නිකුතුව සඳහා හිමිවන අධි ඉල්ලුමත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 50ක් නිකුත් කරන්නටද කොමර්ෂල් බැංකුව කටයුතු යොදා තිබේ. එයද කොටසක් රුපියල් 100ක් බැගින් මිල කෙරී ඇති අතර එහි සමස්ත වටිනාකමද රුපියල් බිලියන 5කි.

ඒ අනුව පෙර සැලසුම් කළ ආකාරයට හෙට දිනයේ පස්වරු 4.30ට මෙම ණයකර කොටස් මිලදී ගැනීමේ අවස්ථාව අහවර කරන බවත්, එම අවස්ථා වන විට ඉදිරිපත්ව ඇති අයැදුම් පත්‍ර මූලික නිකුතුවේ ණයකර කොටස් මිලියන 50 සඳහා වෙන් කර ඉතිරිය අදාළ නිකුතුවේ අධි දායකත්වය පිළිබඳ නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව දෙවැනි ණයකර මිලියන 50 සඳහා වෙන් කරන බවත් කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.

ඒ අනුව මෙම සමස්ත නිකුතුවෙහි වටිනාකම රුපියල් බිලියන 10ක් ලෙස ගණන් බලා තිබේ.

මෙම ණයකර නිකුතුව Type A සහ Type B ලෙස කාණ්ඩ දෙකකට වර්ග කෙරී තිබේ.

ඒ අතරින් Type A කාණ්ඩයේ ණයකර නිකුතුව පස් අවුරුදු කාලයකින් කල් පිරීමක් සිදු වෙයි. එහිදී වාර්ෂිකව 9.0%ක (වාර්ෂිප පොළී අනුපාතය 9.20%) ස්ථාවර කූපන් අනුපාතයක් යටතේ පොලියක් හිමිවන ලෙස මෙය නිකුත් කෙරෙන අතර, එය අර්ධවාර්ෂික ආකාරයෙන් ගෙවීම සිදු වෙයි.

එසේම Type B කාණ්ඩයේ ණයකර නිකුතුව හත් අවුරුදු කාලයකින් කල් පිරීමක් සිදු වෙයි. එහිදී වාර්ෂිකව 9.50%ක (වාර්ෂික පොළී අනුපාතය 9.73%) ස්ථාවර කූපන් අනුපාතයක් යටතේ පොළියක් හිමිවන ලෙස මෙය නිකුත් කෙරෙන අතර, එයද අර්ධවාර්ෂික ආකාරයෙන් ගෙවීම සිදු වෙයි.

Visits: 177