Esuffaly සහෝදරයෝ හේමාස් හෝල්ඩිංග්ස්හි කොටස් මිලියන 10ක් මිලදී ගනිති

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සීහි කොටස් මිලියන 10ක් මිලදී ගැනීමට එම සමාගම අයත් Esuffaly පවුලේ හුසේන්, අබ්බාස්, ඉමිතියාස් සහ මුර්ටාසා ඒසුෆ්අලි යන සහෝදරයන් සිව් දෙනා ඊයේ (සැප්තැම්බර් 13දා) පියවර ගත් බව වාර්තා වෙයි.

ඒ අනුව මෙහිදී ඔවුන් සිව් දෙනා කොටස් මිලියන 2.5ක් (2‍්,500,000ක්) බැගින් මිලදී ගැනීම සිදු කර තිබේ. මෙහිදී කොටසක් රුපියල් 72ක වටිනාකමකට මෙම ගනුදෙනු සිදුව ඇති අතර සමස්ත ගනුදෙනුවල වටිනාම රුපියල් මිලියන 720ක් (720,000,000ක්) ලෙස ගණන් බලා තිබේ.

මේ අතරින් හුසේන් ඒසුෆ්අලි මහතා හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සීහි වර්තමාන සභාපතිවරයා මෙන්ම විධායක නොවන අධ්‍යක්ෂවරයෙකුද වෙයි. අබ්බාස්, ඉමිතියාස් සහ මුර්ටාසා යන අනෙකුත් සහෝදරයින් එහි විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරයි.

මෙහිදී ඔවුන් විසින් මිලදී ගෙන ඇත්තේ LF Ruffer Pacific & Emerging Markets නම් අරමුදලක් මගින් මිලදී ගෙන තිබූ හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සීහි කොටස් මිලියන 10කි. පසුගිය ජුනි 30 වැනිදා වනවිට මෙම කොටස් ප්‍රමාණය සමාගමේ සමස්ත කොටස් ප්‍රතිශතයෙන් 1.68%ක් ලෙස සටහන්ව තිබී ඇත.

ඒ අනුව මෙම මිලදීගැනීමත් සමගින්ම ඒසුෆ්අලි පවුලේ සහෝදරයන් අතර බෙදී ගොස් ඇති හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සීහි කොටස් ප්‍රතිශතය 61%ක් වන බවත් පැවසෙයි.

ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 70ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයට සාපේක්ෂව ශත 60ක එනම් 0.85%ක අඩුවීමකි.

මේ අතර ඊයේ දිනයේදී හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සීහි රුපියල් මිලියන 720ක වටිනාකමින් යුත් කොටස් ඉවත් කරගැනීමට විදේශීය ආයෝජකයන් කටයුතු යොදා තිබේ. එසේම ආසන්න සති කිහිපයේදීම හේමාස් සමාගමෙන් මෙලෙස විදෙස් ආයෝජන ඉවත්විමක් දැකගත හැකිව ඇති අතර, එහිදී සාංගමික කාරණාවලට වඩා සාර්ව ආර්ථික හේතූන් ඊට බලපා තිබෙන බව ඩේලිඑෆ්ටී පුවත්පතද පවසා තිබේ.

මෙහිදී පසුගිය සැප්තැම්බර් 03 වැනිදායින් අවසන් වූ සතියේදී පමණක් හේමාස් හි කොටස් මිලියන 22.16ක් මෙලෙස අලෙවි කර ඇති අතර එහි වටිනාකම රුපියල් බිලියන 1.56කි. එහිදී First State-Stewart Fund නම් අරමුදලක් මගින් පමණක් තමන් සතුව තිබූ කොටස් මිලියන 17ක් අලෙවි කර ඇත.

ඒ අනුව මෙරට මුල් පෙළේ ආයෝජකයන් වන නිමල් පෙරේරා, හුසායිෆා අබ්දුල්හුසේන් සහ ඉමිතියාස් බුහර්දීන් සහ කාර්සන්ස් කුම්බර්බැච් සහ ෆර්ස්ට් කැපිටල් යන සමාගම් පසුගිය සතියේදී මෙම කොටස් මිලදී ගැනීමක් සිදු කර තිබෙන බවත් පුවත්පත වැඩිදුරටත් අනාවරණය කර තිබේ.

ඡායාරූපයේ හිමිකම – echelon සඟරාව

Visits: 831