යෝජිත තාක්ෂණ උද්‍යාන සංවර්ධන සමාගමත් CSE හි ලැයිස්තුගත කිරිමේ සැලසුමක්

2021 අයවැය මගින් යෝජනා කර ඇති තාක්ෂණ උද්‍යාන ස්ථාපිත කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට පූර්ණ හිමිකාරීත්වය සහිත තාක්ෂණ උද්‍යාන සංවර්ධන සමාගම නමින් සමාගමක් ස්ථාපිත කිරීමට රජය අදහස් කරගෙන සිටින බව පවසයි.

තාක්ෂණ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා මේ පිළිබඳ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර, පසුගියදා රැස්වුණු කැබිනට් මණ්ඩල හමුවේදී ඊට අනුමැතිය හිමිව තිබේ.

විශේෂයෙන්ම මෙම යෝජිත ව්‍යාපෘති වාණිජමය ව්‍යවසායයන් වශයෙන් ක්‍රියාත්මක කිරීමට හැකිවීම එහි අරමුණ බව ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේදී අනාවරණය කෙරිණි.

එසේම පිහිටුවෙන මෙම තාක්ෂණ උද්‍යාන සංවර්ධන සමාගම ඉදිරියේදී කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ලියාපදිංචි කර පෞද්ගලික ආයෝජකයින්ටද අදාළ ව්‍යාපෘති සඳහා සහභාගි විමට අවස්ථාව සලසා දීමටත් රජය සැලසුම් කර තිබේ.  

“යෝජිත ව්‍යාපෘති වාණිජමය ව්‍යවසායයන් වශයෙන් ක්‍රියාත්මක කිරීමට හැකි වනු පිණිස භාණ්ඩාගාර ලේකම්ට මුළු කොටස් අයිතිය හිමි වන පරිදි තාක්ෂණ උද්‍යාන සංවර්ධන සමාගම යනුවෙන් සමාගමක් ස්ථාපිත කිරීමටත්, ඉදිරියේදී එම සමාගම කොළඹ කොටස් වෙ‍ෙළඳපොළේ ලියාපදිංචි කර පෞද්ගලික ආයෝජකයින්ට ද අදාළ ව්‍යාපෘතියට සහභාගිවීම සඳහා අවස්ථාව සලසා දීමටත් සැලසුම් කර ඇත.” යනුවෙන් කැබිනට් මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ගාල්ල, කුරුණෑගල, අනුරාධපුරය, නුවර සහ මඩකළපුව යන දිස්ත්‍රික්කවල තාක්ෂණ උද්‍යාන 05ක් ස්ථාපිත කිරීම සඳහා 2021 අයවැය මඟින් මෙලෙස යෝජනා කර තිබේ.

ඒ අනුව, අධිවේගී මාර්ග ජාලයට ප්‍රවේශ වීමේ පහසුකම, සංචාරක ආකර්ෂණය, අවශ්‍ය මානව සම්පත් පැවතීම හා අනෙකුත් අවශ්‍යතාවන් සැලකිල්ලට ගෙන අදාළ තාක්ෂණ උද්‍යාන ස්ථාපිත කිරීම සඳහා යෝග්‍ය ස්ථානයන් තාක්ෂණ අමාත්‍යාංශය විසින් හඳුනාගෙන ඇතැයි රජය පවසයි.

Visits: 360