රාජ්‍ය ඇමති කබ්රාල් යළිත් මහ බැංකු මුල් පුටුවට එන්නේ කැබිනට් අමාත්‍ය බලතල සහිතවද?

වත්මන් රජයේ මුදල්, ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉදිරියේදී මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වීමට සූදානම් වන්නේ කැබිනට් අමාත්‍යවරයෙකුගේ බලතලද සහිතව බව මාධ්‍ය වාර්තා පවසයි.

ඒ අනුව අද වනවිට චීනය, සිංගප්පූරුව සහ වියට්නාමය වැනි රටවල ක්‍රියාත්මක වන ආකාරයට මෙම මහ බැංකු අධිපති තනතුර උසස් කර ඒ සඳහා කබ්රාල් මහතා පත් කිරීමේ වැඩි ඉඩක් පවතින බව ඩේලි මිරර් පුවත්පත සඳහන් කර තිබේ.

මේ හරහා මහ බැංකු අධිපතිවරයාට මුදල් සහ ප්‍රාග්ධ වෙළෙඳ පොළ සම්බන්ධයෙන් එකඟතා වෙත පිවිසීමේ සහ තීරණ ගැනීමේ කැබිනට් අමාත්‍යවරයෙකු හා සමාන අධිකාරිමය බලයක් හිමි කරදීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බවත් පුවත්පත වැඩිදුරටත් සඳහන් කරයි.

කබ්රාල් මහතා මීට පෙර වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේදීද මහ බැංකු අධිපතිවරයා ලෙසින් කටයුතු කර තිබේ. ඔහු දැනට දරන මුදල්, ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධුරය අත්හරිමින් මහ බැංකු අධිපතිවරයා බවට පත්වීමට සූදානමින් සිටින බව පසුගියදා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් අනාවරණය කෙරිණි.

මේ සම්බන්ධයෙන් එම මාධ්‍ය අවස්ථා ගණනාවකදීම රාජ්‍ය අමාත්‍යවරයාගෙන් කරුණු විමසා ඇති නමුත්, ඔහු එය පිළිගැනීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් මෙතෙක් සිදු කර නැතැයිද සඳහන් වී තිබේ.

මේ අතර කබ්රාල් මහතාගේ ඉවත්වීමෙන් හිස්වන මුදල්, ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යධූරය සඳහා වත්මන් නිවාස සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පත් කිරීමට නියමිතව ඇතැයිද වාර්තා පළ වෙයි.

නාලක ගොඩහේවා මහතා මිට පෙර මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ රජය යටතේ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙසින්ද කටයුතු කර තිබේ. එසේම ඔහු වියත්මග සංවිධානයේ සාමජිකයෙකුද වෙයි.

Visits: 232