ප්‍රකට මැණික් ව්‍යාපාරික ජිනදාස ගුරුගේ මහතාගේ අභාවය වෙනුවෙන් අගමැතිගෙන් ශෝක පණිවුඩයක්

මෙරට සුප්‍රසිද්ධ මැණික් ව්‍යපාරිකයෙකු වූ කහවත්තේ ගුරුගේ මැණික් අධිපති ජිනදාස ගුරුගේ මහතා පසුගියදා අභාවප්‍රාප්ත විය. ඒ වන විට ගුරුගේ මහතා 83 හැවිරිදි වියේ පසුවිය. ලංකා මැණික් ව්‍යාපාරිකයන්ගේ සහ පතල්කරුවන්ගේ මහා සංගමයේ නිර්මාතෘවරයා වන්නේද ඒ මහතාය.

ජිනදාස ගුරුගේ මහතාගේ අභාවය සම්බන්ධයෙන් ඔහුගේ සමීප මිතුරෙකුද වන අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ශෝක පණිවුඩයක් සටහන් කර තිබුණි. මෙහි පළ වන්නේ එම ශෝක පණීවුඩයයි.

ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය ජාත්‍යන්තරයට රැගෙන යාමේ පුරෝගාමියා වූ මා මිත්‍ර ජිනදාස ගුරුගේ මහතා අභාවප්‍රාප්ත වූ පුවත ඇසීමෙන් මම බලවත් සංවේගයට පත් වුයෙමි.

මැණික් කර්මාන්තයට පිවිසි ජිනදාස ගුරුගේ මහතා ඉතා කෙටි කලක් තුළ ගුරුගේ මැණික් නාමය ජාත්‍යන්තරයේ දිදුලන නමක් බවට පත්කිරීමට සමත්විය.

මැණික් කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයන්ගේ සහ පතල්කරුවන්ගේ වෘත්තීය ගැටලු නිරාකරණය සඳහා “ලංකා මැණික් ව්‍යාපාරිකයන්ගේ සහ පතල්කරුවන්ගේ මහා සංගමය” බිහිකළ නිර්මාතෘවරයා වූයේද  ජිනදාස ගුරුගේ මහතාය.

ශ්‍රී ලංකාවේ මැණික් ව්‍යාපාරයේ දියුණුව සඳහා මෙන්ම එම කර්මාන්තයේ උන්නතිය පිළිබඳව නිරන්තරයෙන් කැපවී සිටි ජිනදාස ගුරුගේ මහතා මැණික් කර්මාන්තයේ නිරත විශාල පිරිසකට මේ දක්වා ඉමහත් ශක්තියක් වූ බව මාගේ විශ්වාසයයි.

ජනාධිපති සම්මානය ඇතුළු ගෞරවනීය සම්මාන සහ ප්‍රසාද නාම වලින් පිදුම් ලැබූ ජිනදාස ගුරුගේ මහතා ඒ සියල්ලට ඉහළින් ඉටුකළ නිහඬ පිංකම් රැසකි. වෙහෙර විහාර ඉදිකිරීමට මෙන්ම අඩු ආදායම්ලාභී අසරණ ජනතාව වෙනුවෙන් ද ඔහු සිය ධනය නිර්ලෝභීව පරිත්‍යාග කළේය.

මාගේ මතකයට අනුව මැණික් ව්‍යාපාරිකයකු ලෙස අඩු ආදායම් ලාභීන්ට සිය ධනය බෙදා දීමට ආරම්භය ලබා දුන්නේ ජිනදාස ගුරුගේ මහතාය. ඒ නිසා රත්නපුරට හෝ කහවත්තට පමණක් සීමා නොවූ දිවයින පුරා විසිරී ගිය ආගමික, සමාජයීය හා පොදු කටයුතු ප්‍රමුඛත්වයක් ජිනදාස ගුරුගේ මහතාට ලැබී තිබිණි. මේ නිසාම ව්‍යාපාරික තලයෙන් ඔබ්බට ගිය මානව හිතවාදියෙකු ලෙස ජිනදාස ගුරුගේ මහතා රටේ ජනාදරයට පත්ව සිටියේය.

වැවිලි කර්මාන්තය මෙන්ම සංචාරක හෝටල් කර්මාන්තය සඳහා ද තම ව්‍යාපාරික දැනුම මෙහෙයවූ ජිනදාස ගුරුගේ මහතා දේශීය ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් ද සිය උපරිම දායකත්වය දැක්වූවෙකි.

දේශපාලන ජීවිතයේ දී මෙන්ම පෞද්ගලික ජීවිතයේදීත් ළඟින් ඇසුර කළ මිතුරෙකු වූ ජිනදාස ගුරුගේ මහතා මියයන තුරුම මා සමඟ පැවති ඒ කුළුපග මිත්‍රත්වය දැඩිව ආරක්ෂා කළේය. අපගේ එම කුළුපග මිත්‍රත්වය නිසාම මා දේශපාලනික වශයෙන් කවර නිළයක් දැරුවද රත්නපුර කහවත්ත ප්‍රදේශ වලට යන අවස්ථාවලදී  ගුරුගේ මහතාගේ නිවසට ගොඩවීමට කිසිසේත් අමතක නොකළෙමි.

රටට වැඩදායී දූ දරුවන් දායාද කළ ජිනදාස ගුරුගේ මහතා සිය පවුල වෙනුවෙන් තම යුතුකම් හා වගකීම් නොපිරිහෙළා ඉටු කළේය.

වසර 83ක් ආයු වළඳා, අභාවප්‍රාප්ත වූ ජිනදාස ගුරුගේ මහතාට නිවන් සුව අත්වේවායි ! යැයි ප්‍රාර්ථනා කරන අතර, සංවේගයට පත් එතුමාගේ ආදරණීය බිරිඳ ස්වර්ණා ගුරුගේ මහත්මිය ඇතුළු දූ දරුවන් සහ බෑනණුවන් වන සමන් උපසේන මහතා ඇතුළු පවුලේ සියලු දෙනාටත්, ඥාති හිත මිත්‍රාදීන් ඇතුළු ප්‍රදේශවාසී සැමටත් මාගේ බලවත් සංවේගය මෙයින් පුදකර සිටිමි.

Visits: 108