ඊ.බී. ක්‍රීසි සහ සමාගම ACME Printing & Packaging හි දෙවැනි වැඩිම කොටස් හිමිකරුවා වෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඊ.බී. ක්‍රීසි ඇන්ඩ් කම්පැනි පීඑල්සී සමාගම (E.B. CREASY & COMPANY PLC (EBCR.N0000) එහි ලැයිස්තුගත තවත් සමාගමක් වන ඇක්මි ප්‍රින්ටින්ග් ඇන්ඩ් පැකේජින්ග් පීඑල්සී (ACME Printing & Packaging PLC) සමාගමෙහි කොටස් මිලියන 8ක් (8,000,000ක්) අත්පත් කරගත් බව පවසයි.

ඊයේ (සැප්තැම්බර් 07) දිනයේදී මෙම අත්පත් කරගැනීම සිදුව තිබේ. ඒ අනුව මෙහිදී එක් කොටසක් රුපියල් 12ක් බැගින් මිලදී ගැනීම සිදුව ඇති අතර, ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රුපියල් මිලියන 96ක් ලෙස සටහන්ව තිබේ.

එසේම අත්පත් කරගත් මෙම කොටස් ප්‍රමාණය ඇක්මි ප්‍රින්ටින්ග් ඇන්ඩ් පැකේජින්ග් පීඑල්සී සමාගමෙහි සමස්ත කොටස් ප්‍රමාණයෙන් 19.44%ක ප්‍රතිශතයක් ගන්නා බවත් පැවසෙයි.

ඇක්මි ප්‍රින්ටින්ග් ඇන්ඩ් පැකේජින්ග් සමාගමේ කොටස් හිමිකාරීත්වය අනුව මෙම කොටස් ප්‍රමාණය සහ කොටස් ප්‍රතිශතය එම සමාගම තුළ රිචර්ඩ්සන් හෝල්ඩිංග්න් පෞද්ගලික සමාගම සතුව තිබූ කොටස් වෙයි.

මෙතෙක් කලක් සමාගමේ දෙවැනි විශාලතම කොටස් හිමිකරුවා වූයේ මෙම රිචර්ඩ්සන් හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගමයි. ඒ අනුව මෙම අත්පත්කරගැනීමත් සමග ඊ.බී.ක්‍රීසි සහ සමාගම එහි දෙවැනි විශාලතම තනි කොටස් හිමිකරුවා බවට පත්වෙයි.

ඇක්මි ප්‍රින්ටින්ග් ඇන්ඩ් පැකේජින්ග් සමාගමේ වැඩිම තනි කොටස් හිමිකරුවා වන්නේ ක්ලෝවිස් කම්පැනි ලිමිටඩ් සමාගමයි. එය සතු කොටස් ප්‍රමාණය 11,054,831ක් වන අතර එය 26.86%කි.   මේ අතර, ඊයේ (සැප්තැම්බර් 07) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අතරදී ඇක්මි ප්‍රින්ටින්ග් ඇන්ඩ් පැකේජින්ග් පීඑල්සී සමාගමේ කොටසක අගය රුපියල් 12.20ක් ලෙස සටහන්ව තිබුණි. එය පෙර දිනයට සාපේක්ෂව කොටසක අගය රුපියල් 2.10 කින් එනම් 20.79%ක ඉහළ යාමක්ද විය.

සුප්‍රසිද්ධ අම්රිතා හඳුන්කූරු, නින්ජා මදුරැ දගර ඇතුළු නිෂ්පාදන මෙන්ම හැක්ස් ටොෆි, කව් ඇන්ඩ් ගේට් ළදරු කිරිපිටි නිෂ්පාදන සහ ලක්ෂපාන විදුලි බල්බ සහ බැටරි අලෙවිය සහ බෙදා හැරීමද ඊ.බී ක්‍රීසි සහ සමාගමට අනුබද්ධ සමාගම් යටතේ සිදු කෙරේ.

Visits: 300