ඇබර්ඩීන් හෝල්ඩිංග්ස්හි Ex-pack සමාගම මූලික කොටස් නිකුතුවකට සූදානමින්ලු

ශ්‍රී ලංකාව තුළ කොරුගේටඩ් ඇසුරුම් නිෂ්පාදන වෙළෙඳ පොළෙහි ප්‍රමුඛතම සමාගමක් වන Ex-pack Corrugated Cartons Limited සමාගම ඉදිරියේදී මූලික මහජන කොටස් නිකුතුවක් හරහා කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීමට සූදානමින් සිටින බව පවසයි.

එම නිකුතුවෙහි කළමනාකරු සහ මූල්‍යමය උපදේශකවරයා ලෙස කටයුතු කරන CAL – Capital Alliance සමාගම අද දිනයේදී මේ පිළිබඳව තොරතුරු නිල වශයෙන් අනාවරණය කර තිබේ.

මීට පෙර Expolanka Investment (පෞද්) සමාගම ලෙස හැඳින්වුණු Aberdeen Holdings (පෞද්) සමාගමෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් ලෙස Ex-pack Corrugated Cartons Limited සමාගම ක්‍රියාත්මක වෙයි. පසුගිය දශක දෙකක කාලය පුරා එම සමාගම ලංකාවේ බොහෝ ක්ෂේත්‍ර තුළ සිටින ගනුදෙනුකරුවන් වෙත සිය සේවාව සපයමින් සිටින බවත් පවසයි.

Aberdeen Holdings සමාගම ලංකාවේ ඉහළ පිළිගැනීමට ලක්ව ඇති විවිධාංගීකරණය වූ පවුලේ ව්‍යාපාරයක් වන අතර, අද වනවිට ඖෂධ, ගුවන් සේවා, භාණ්ඩ, ප්‍රවාහන, බලශක්ති, කෘෂිකාර්මික වගා, ඇසුරුම්කරණය සහ ප්‍රතිචක්‍රීයකරණය මෙන්ම සැපයුම් දාම සහ භාණ්ඩ ප්‍රවාහනය යන ක්ෂේත්‍ර තුළ ව්‍යාප්තව තිබේ.

ලොව රටවල් 8කට සිය නිෂ්පාදන අපනයනය කරන Ex-pack සමාගම 2020/21 මූල්‍ය වර්ෂයේදී සිය ආදායම 50%කින් වර්ධනය කරගැනීමට සමත්ව ඇතැයි පවසයි. එසේම එම සමූහය 2021 මූල්‍ය වර්ෂය තුළ රැස් කරගෙන ඇති සමස්ත ආදායම රුපියල් බිලියන 5කි.

Visits: 736