චීනය එරට SME ව්‍යාපාර වෙනුවෙන් තවත් කොටස් වෙළෙඳ පොළක් පිහිටුවීමට යයි

චීනයේ තුළ තවත් කොටස් වෙළෙඳ පොළක් පිහිටුවීමට අදහස් කරගෙන සිටින බව එරට ජනාධිපති ෂිං ජින්පින්ග් මහතා පවසයි. පසුගියදා පැවැත්වුණු International Fair for Trade in Services සමුළුව අමතමින් ඔහු මේ අදහස් පළ කර තිබෙන බව මාධ්‍ය සඳහන් කරයි.

එරට බීජිං අගනුවරදී මෙම කොටස් වෙළෙඳ පොළ පිහිටුවිමට යෝජනා වී ඇත. මෙහිදී එරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙත සේවා සැපයීම වෙනුවෙන් එය ක්‍රියාත්මක වන බවත් පැවසෙයි.

දැනටමත් චීනය තුළ ප්‍රධාන කොටස් වෙළෙඳ පොළ දෙකක් මෙහෙයුම් සිදු කරන අතර, ඉන් එකක් ෂැන්ග්හයි මූල්‍ය කේන්ද්‍රස්තානයේදීත්, අනෙක දකුණු දිග ෂෙන්සෙන් නගරයේදීත් පිහිටා තිබේ.

විශේෂයෙන්ම අද වනවිට චීනයේ සමාගම් වෙත එරට තුළදී මෙන්ම එක්සත් ජනපදය තුළදීද පත්වන පීඩනයට පිළිතුරු ලෙස මෙම නව කොටස් වෙළෙඳපොළ පිහිටුවීම පිටුපස ඇති කාරණාව බව විචාරකයන් පවසයි.

කෙසේ වෙතත් මෙම සමුළුවේදී චීන ජනපතිවරයා මෙම නව තෙවැනි කොටස් වෙළෙඳ පොළ ස්ථාපිත කිරීමේ සැලසුම් පිළිබඳව කිසිවක් අනාවරණය කර නැත.

එහෙත් ඔහුගේ අදහස් දැක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර ඇති චීනයේ සුරැකුම්පත් නියාමන කොමිෂම තම ආයතනය දැනටමත් මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කරමින් පවතින බව සඳහන් කර තිබේ.

එහිදී අදහස් දක්වා ඇති චීනයේ සුරැකුම්පත් නියාමන කොමිෂම “කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් හට මේ හරහා බොහෝ දේ කළ හැකියි.” යනුවෙන් පවසා ඇත.

මෙහිදී නව කොටස් වෙළෙඳ පොළ සඳහා ලියාපදිංචි කරගැනීමේ ක්‍රමවේදය දැනට ෂැන්ග්හයි නුවර ක්‍රියාත්මත STAR වෙළෙඳ පොළ තුළ සිදු කරන ක්‍රමවේදය හා සමාන වන බවත් එම ආයතනය සඳහන් කර ඇත.

විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට ෂැන්ග්හයි නුවර පිහිටි මෙම වෙළෙඳ පොළ පිහිටුවීමේ අරමුණ වූයේ එක්සත් ජනපදයේ දැවැන්ත තාක්ෂණික සමාගම් සඳහා ඉදිකර ඇති වේදිකාව වන Nasdaq කොටස් වෙළෙඳ පොළට පිළිතුරක් ලෙසින්බව පැවසෙයි.

අද වනවිට චීනයේ බොහෝ සමාගම් වෙත චීනයේදී මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේදීද සිය කොටස් අලෙවි කිරීමේදී විවිධ බාධාවන්ට ලක්වීමට සිදුවන බවට අනාවරණයවී ඇත.

එහිදී චීන බලධාරීන් දැනටමත් එරට සමාගම් වෙත බොහෝ දැඩි නියාමන කොන්දේසි පනවා ඇති අතර, එක්සත් ජනපදයේ සුරැකුම්පත් හා හුවමාරු කොමිසම (SEC) ද ඇමෙරිකානු කොටස් වෙළෙඳ පොළ වෙත පිවිසීමට බලාපොරොත්තු වන චීන සමාගම් වෙතින් අමතර තොරතුරු ඉල්ලීම් සිදු කරමින් සිටින බවත් විදෙස් මාධ්‍ය සඳහන් වෙයි.

Visits: 437