රාජ්‍ය ඇමති කබ්රාල්ගේ මැදිහත්වීමෙන් හිටපු මහබැංකු අධිපතිවරුන් සියල්ලන්ට විශ්‍රාම වැටුපක්?

ශ්‍රී ලංකා මහ බැංකුව වෙත මෙතෙක් පත්ව ඇති සියලුම අධිපතිවරුන් වෙත සියලුම හිඟ මුදල්ද සමගින් ජීවිතාන්තය දක්වා වලංගු වන ආකාරයේ විශ්‍රාම වැටුපක් ලබා දීමට වත්මන් රජයේ මුදල්, ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා කටයුතු කරමින් සිටින බව මාධ්‍ය වාර්තා පවසයි.

අද දිනයේදී පළ කෙරුණු සන්ඩේ ටයිම්ස් පුවත්පත මේ පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන අතර, 1998 වසරෙන් පසුව මහබැංකු අධිපතිධුරය සඳහා තේරීපත් වූ අධිපතිවරුන් වෙනුවෙන් මෙම විශ්‍රාම වැටුප ගෙවීමට යෝජනා වී තිබෙන බවත් පැවසෙයි. රාජ්‍ය අමාත්‍ය කබ්රාල් මහතාද 2006 වසරේ සිට 2015 වසර දක්වා මහ බැංකු අධිපතිවරයාව සිටියේය.

සන්ඩේ ටයිම්ස් පුවත්පත අනාවරණය කරගෙන ඇති ආකාරයට මහ බැංකුවෙහි මුදල් මණ්ඩලය විසින් දැනටමත් මෙම විශ්‍රාම වැටුප් ලබාදීමේ යෝජනාව අනුමත කර ඇති අතර, මේ වනවිටත් මහ බැංකු ලේකම් කාර්යාලය මගින් ඊට අදාළ කටයුතු සකස් කරමින් සිටින බවත් එහි අභ්‍යන්තර ආරංචි මාර්ග හරහා පැවසෙයි.

ඒ අනුව මෙම ක්‍රමවේදය යටතේ මෙතෙක් පත්ව සිටි සියලුම මහ බැංකු අධිපතිවරුන් වෙත ඔවුන්ගේ සේවා කාලය අනුව විශ්‍රාම වැටුපක් හිමිවීමට නියමිතව ඇත. කෙසේ වෙතත් රජයේ අනෙකුත් සේවකයන් වෙත විශ්‍රාම වැටුප් ලබා දීමේදී අනුගමනය කරන ක්‍රමවේදය වන්නේ වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ කිරිම හරහා ලැබෙන සුදුසුකමයි. ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වසර පහක කාලයකට පසුව මන්ත්‍රී විශ්‍රාම වැටුපක් හිමිවිමක්ද සිදු වෙයි.

රාජ්‍ය ඇමති කබ්රාල්මහතා මීට පෙර ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මහ බැංකු අධිපති ධුරය දරන සමයේදීද ඔහු වෙත මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, ඔහු හරහා එය එවකට ජනාධිපතිවරයාවූ මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යවා ඇත. එහෙත් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් නොලැබුණු බව පැවසෙයි.

කෙසේ වෙතත් 2019 වසරෙන් පසුව සිදු වූ ආණ්ඩු වෙනසත් සමගින්ම රාජ්‍ය අමාත්‍යවරයා යළිත් මෙම උත්සාහය ගැනීමට තීරණය කර තිබෙන බවත්, සිය මහ බැංකු අධිපති ධුර කාලය වෙනුවෙන් විශ්‍රාම වැටුපක් ලබා ගැනීමට යන්නේදැයි කබ්රාල් මහතාගෙන් විස්තර ලබා ගැනීම සඳහා සිදුකළ විමසීමකට තමන්ට පිළිතුරු නොලැබුණු බවත් සන්ඩේ ටයිම්ස් පුවත්පතේ වාර්තාකාරිනිය සඳහන් කර ඇත.

මේ අතර සන්ඩේ ටයිම්ස් පුවත්පත මගින් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම යටතේ මේ සම්බන්ධයෙන් මහ බැංකුවෙන් කරුණු විමසා ඇති අතර, ඊට පිළිතුරු ලබාදී ඇති මහ බැංකුව මුදල් මණ්ඩලය මේ දක්වා හිටපු මහ බැංකු අධිපතිවරුන් සියලු දෙනාටම විශ්‍රාම වැටුපක් ලබාදීමක් සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බව පවසා ඇත.

පුවත්පත සදහන් කරන ආකාරයට මහ බැංකුව ලබා දී ඇති මෙම පිළිතුර ‘තාක්ෂණිකව නිවැරදි වන බවත්, අද වනවිට මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහි නීතිමය කටයුතු හේතුවෙන් ඔහු මෙම විශ්‍රාම වැටුප් ගෙවීමෙන් ඉවත් කෙරෙනු ඇති බවත්, මහ බැංකුවෙහිම අභ්‍යන්තර නිලධාරියෙකු පවසා තිබේ.

1998 වසර දක්වාම ශ්‍රී ලංකා මහ බැංකුවෙහි සහ අනෙකුත් රාජ්‍ය බැංකු සියල්ලලෙහිම සේවකයන් හට අනෙකුත් රාජ්‍ය සේවකයන්ට මෙන් විශ්‍රාම වැටුපක් හිමිව තිබුණි. කෙසේ වෙතත් එම වසරේ සිට අලුතින් පත්ව එන සියලුම රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම වැටුප් ලබාදීම එවක පැවැති රජය විසින් අත්හිටුවුණි. එහිදී සේව්‍ය සේවක අරමුදල් දායකත්වයක් හරහා ක්‍රියාත්මක නව රාජ්‍ය අංශයේ යාන්ත්‍රණයක් හඳුන්වාදීම අරමුණ වුවත්, ඒ සඳහා වන අරමුදල් සම්පාදනයක් සිදු නොවුණු අතර ගෙවීම් බදු ආදායම් හරහා සිදු විය. ඒ අනුව බදු ආදායම් ලැබීමේ වේගයට වඩා වැඩි වේගයකින් විශ්‍රාම වැටුප් ලබන්නන් සංඛ්‍යාව ඉහළ යාම සිචුව තිබේ.

කෙසේ වෙතත් රාජ්‍ය අංශයේ වෘත්තිය සමිති විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව, රාජ්‍ය අංශයේ සියලුම සේවකයන් සඳහා යළිත් විශ්‍රාම වැටුප් ලබාදීමට කටයුතු යෙදුණු අතර, එහෙත් රාජ්‍ය බැංකු හෝ මහ බැංකු සේවකයන් ඊට ඇතුළත් නොවුණි. එහිදී රාජ්‍ය බැංකු විසින් සිය නව සේවකයන් සඳහා දායකත්ව විශ්‍රාමවැටුප් යෝජනා ක්‍රමයක් පසුව යෝජනා කර තිබුණි.

කබ්රාල් මහතාට පසුව මහ බැංකු අධිපති ධුරයට පත් වූ අර්ජුන් මහේන්ද්‍රන් මහතාද මේ හා සමාන ක්‍රමවේදයක් මහ බැංකු සේවකයන් සඳහාද සකස් කිරිමට කටයුතු යොදා තිබේ. එහෙත් එහිදී මහ බැංකු අධිපතිවරුන් සඳහා එම අවස්ථාව ලබා ගෙන නොමැති අතර, මහ බැංකු අධිපතිවරයා සභාපතිධුරය දරන මුදල් මණ්ඩලය විසින් එවැන්නක් අනුමත කරවා ගැනීම සදාචාර සම්පන්න නොවී මඊට හේතුව වූ බවත් පුවත්පත පවසයි. ඒ අනුව 1995 සිට 2004 දක්වා මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ වූ ඒ.එස්. ජයවර්ධන මහතාට පසුව පත්වූ අධිපතිවරුන්බ ඊට නුසුදුස්සන් පත්ව තිබේ.

කෙසේ වෙතත් 2015 වසරේදී ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මහ බැංකු අධිපතිවරයා බවට පත්වීමෙන් අනතුරුව කබ්රාල් මහතා මේ සම්බන්ධයෙන් සඳහන් කරමින් නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් සඳහා මහ බැංකු අධිපතිවරුන්ද ඇතුළත් කරන ලෙස ඉල්ලා තිබේ. එහෙත් එහිදී එවකට ජනපතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා වෙතින් ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ලබා ගැනීමට නොහැකි වූ බව මුදල් මණ්ඩලය පසුව දැනුම් දී ඇත.

මේ අතර වත්මන් මහ බැංකු අධිපතිවරයා වන මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා මේ වනවිට තමන් ඇතුළුව හිටපු මහ බැංකු අධිපතිවරුන් සඳහා විශ්‍රාම වැටුප් ගෙවීමක් සම්බන්ධයෙන් වන යෝජනාව පිළිබඳව කටයුතු කරමින් සිටින බවත් වගකිවයුතු තොරතුරු හරහා තමන්ට දැනගන්නට ලැබුණු බවත් සන්ඩේ ටයිම්ස් පුවත්පත වැඩිදුරටත්පවසයි.

ඒ අනුව මහ බැංකු අධිපති ලක්ෂ්මන් මහතාගේ සභාපතිත්වයෙන් සහ සියලුම නියෝජ්‍යඅධිපතිවරුන් සහ සහකාර අධිපතිවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක මහ බැංකුවෙහි සාංගමික කළමනාකර කමිටුව මගින් දැනටමත් මේ සම්බන්ධයෙන් වන නිර්දේශ මුදල් මණ්ඩලය වෙත ලබා දී තිබේ. එහි සභාපතිවරයා වන්නේද මහ බැංකු අධිපති ලක්ෂ්මන් මහතාය.

පුවත්පත සඳහන් කරන ආකාරයට මෙහිදී හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සඳහා වන විශ්‍රාම වැටුප් ගෙවීම මෙහිදී අත්හිටුවා තිබේ. එහෙත් යම් හෙයකින් අනාගතයේදී ඔහු සියලු චෝදනාවලින් නිදහස් වුවහොත් ඔහු ධුරය දැරූ කාලය සඳහා වන විශ්‍රාම වැටුපක් ඔහුට හිමි වනු ඇතැයි පැවසෙයි.

යම් ලෙසකින් මෙම විශ්‍රාම වැටුප් ගෙවීමේ යෝජනාව අනුමත වුවහොත් ඉදිරියේදී මහ බැංකුව මෙන්ම පාර්ලිමේන්තුව යන රාජ්‍ය ආයතන දෙක හරහාම විශ්‍රාම වැටුප් ලබන එකම මහ බැංකු අධිපතිවරයා බවට රාජ්‍ය අමාත්‍ය කබ්රාල් මහතා පත්වෙනු ඇතැයි යනුවෙන්ද පුවත්පත වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 205