PET බෝතල් සැපයුම අඩුවීමෙන් BPPL ලාභය වෙත බලපෑම්

රට තුළ කොවිඩ්-19 වසංගතය හා සම්බන්ධ ලොක්ඩවුන් සීමා හේතුවෙන් භාවිතයෙන් ඉවත් කෙරුණු PET බෝතල් සැපයුම අඩපණවීමත් සමගින්ම සිය මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙනයාම සඳහා පිරිසිදු කරන ලද ප්ලාස්ටික් බෝතල් පතුරු (washed bottle flakes) ආනයනය කිරීමට සිදු වුණු බව BPPL හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.

ඊයේ නිකුත් කෙරුණු BPPL හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ 2020/21 මූල්‍ය වර්ෂය සඳහා වන වාර්ෂික මූල්‍ය වාර්තාව තුළ සටහනක් තබමින් එහි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය අනුෂ් අමරසිංහ මහතා මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව මෙම අපනයන සඳහා මුදල් වැයවීමත් සමගින්ම එය සිය සමාගමේ බුරුසු නිෂ්පාදනය සහ පොලියෙස්ටර් නූල් නිෂ්පාදනයේ ලාභ ආන්තිකය සඳහා බලපෑම් එල්ල කර ඇතැයිද ඔහු සඳහන් කර තිබේ.

එසේම සිය නිෂ්පාදන සඳහා අවශ්‍ය තල් ලී, දැව, ලෝහ සහ ප්ලාස්ටික්/පොලිමර් වැනි අමුද්‍රව්‍ය ආනයන සම්බන්ධයෙන් ආසන්න සති කිහිපයේදී සමාගම තුළ කැපී පෙනෙන මුදල් පීඩනයක් ඇති වූ බවද කළමනාකාර අධ්‍යක්ෂවරයා මෙහිදී සඳහන්කර ඇත. විශේෂයෙන්ම එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම සහ ප්‍රතිචක්‍රීයකරණය කරන ලද ප්ලාස්ටික් අමුද්‍රව්‍යවල භාවිතය ඉහළ යාම යනාදිය ඒ සඳහා හේතුව වී ඇත.

මේ අතර, සමාගම වෙත ලැබී තිබෙන ඉතාමත් හොඳ බුරුසු ඇනවුම්ද සමගින් එළැඹ ඇති නව මූල්‍ය වර්ෂය වඩාත් ශක්තිමත් වනු ඇතැයි BPPL හෝල්ඩිංග්ස් පීඑල්සී පවසයි. එහිදී ඉන්දියාවෙන් ඉතාමත් හොඳ ඇනවුමක් ලැබී තිබෙන බවත්, එය සම්පූර්ණ කිරීම සඳහා සිය බුරුස් නිෂ්පාදන ඒකකය එහි 90%ක ධාරිතාවයකින් ක්‍රියාත්මක වන බවත් සඳහන් වෙයි.

කෙසේ වෙතත් ඉන්දියාව තුළ පවතින කොවිඩ්-19 හා සම්බන්ධ ලොක්ඩවුන් සීමා හේතුවෙන් මෙම නිෂ්පාදන එරට වෙත සැපයීම සම්බන්ධයෙන් යම් බලපෑමක් එල්ලවීමේ හැකියාවක් පවතින බවත් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා මෙහිදී සඳහන් කර තිබේ.

මේ අතර සිය පොලියෙස්ටර් නූල් නිෂ්පාදන කර්මාන්ත ශාලාව වෙත ඉදිරි කාර්තු දෙක සඳහාම ලැබී ඇති ඇනවුම් සම්පූර්ණ කිරීම සඳහා මේ වනවිට එයද මේ වනවිට 90%ක ධාරිතාවකින් ක්‍රියාත්මක වන බවත් සඳහන් වෙයි.

මේ අතර BPPL හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම වඩාත් පුළුල් වූ, ඉහළ විවිධාංගීකරණයක් සහිත නිෂ්පාදන රැසක්ද සමගින්ම සිය වර්ධනයේ මීළග පියවර වෙත යොමුවන බවත් කළමනාකාර අධ්‍යක්ෂවරයා මෙහිදී පවසයි. ඒ අනුව මෙම මූල්‍ය වර්ෂයේදී එම වර්ධනය සඳහා අවශ්‍ය දායකත්වය වෙනුවෙන් වන පදනම ගොඩනැගීම සිදු කර ඇතැයිද ඔහු සඳහන් කර තිබේ.

Visits: 268