ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග ජය ගැනීමට චීන රජයේ උපරිම ශක්තිය ලබා දිමට පොරොන්දුවක්

ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝගය මෙන්ම කොවිඩ් අභියෝගය ජය ගැනීමට චීන රජය උපරිමයෙන් ශක්තියක් වන බව චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ලී ෂන්සු මහතා මෙරට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පැවසීය. ඒ මහතා මේබව පවසා සිටියේ චීන පාර්ලිමේන්තුවේ ඉහළ පෙළේ දූත පිරිසක් සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අතර පසුගියදා (අගෝස්තු 31) පැවති රාජ්‍ය තාන්ත්‍රික හමුවේදීය.

චීනයේ තෙවැනි පුරවැසියා මෙන්ම චීන ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු සේ සැලකෙන එරට මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ලී ෂන්සු මහතා, මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු උප සභාපති (නියෝජ්‍ය කථානායක) වූ වේහුවා මහතා, චීන මුදල් අමාත්‍ය ලියු කුන් මහතා ඇතුළු එරට ඉහළ පෙළේ දූත පිරිසක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සහභාගී වූ මෙම හමුව කොවිඩ් වසංගත තත්ත්වය පැමිණි පසු චීන පාර්ලිමේන්තුව පැවැත්වූ පළමු රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාව වීමද විශේෂත්වයකි.

පවතින කොවිඩ් තත්ත්වය හමුවේ උද්ගතව ඇති ආර්ථික අභියෝගයන් ජය ගැනීමට කථානායකවරයා විසින් චීන රජයේ සහය මෙහිදී ඉල්ලා සිටි අතර, ඒ සදහා චීන ජනාධිපතිවරයාගේ ද උපදෙස් පරිදි උපරිම සහයෝගය ලබාදෙන බවට චීන කථානායකවරයා සහතික වී තිබේ.

කොළඹ වරාය නගරය ව්‍යාපෘතිය මෙන්ම හම්බන්තොට වරාය ආශ්‍රිත අන්තර්ජාතික ආයෝජන තුළින් ශ්‍රී ලංකාව ඉදිරියේදී ලොව ආර්ථික ‍කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට මගපෑදෙනු ඇති බව සදහන් කළ කථානායකවරයා ඒ සදහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රජය කැපවීමෙන් කටයුතු කරන බවත් පැවසීය. එසේම මෙම ව්‍යාපෘති සදහා චීන ආයෝජකයන් දිරිගන්වන ලෙස චීන රජයෙන් තමා ඉල්ලා සිටින බවද කථානායකවරයා පැවසීය. මෙම ආයෝජන අවස්ථා සදහා ලෝකයේ සෙසු රටවලටද ආරාධනා කරන බව ද කථානායකවරයා මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ.

දෙරට පාර්ලිමේන්තු අතර අන්තර් සම්බන්ධතාව සහ සහයෝගීතාවය වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී සාකච්ඡා වී ඇති අතර, චීන කථානායකවරයා ඇතුළු දූත පිරිසකට මෙරට සංචාරය කරන ලෙසද කථානායකවරයා ආරාධනා කර තිබේ.  

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අදහස් දක්වමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, උපරිමාධිකරණ සංකීර්ණය , අධිවේගී මාර්ග, හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ, කොළඹ වරාය නගරය ඇතුළු ව්‍යාපෘති රැසක් චීන රජයේ මැදිහත් වීමෙන් මෙරටට ලැබුණු බව පවසා තිබේ.

එසේම පවතින ආර්ථික අභියෝගය ජය ගැනීමට දෙරට මහ බැංකු අතර ඇ.ඩො. බිලියන 1.5 ක මූල්‍ය හුවමාරුවට අදාළ ගිවිසුමේ යම් තාක්ෂණික කරුණු නිසා ක්‍රියාත්මක කිරීමට නොහැකිව ඇති පසුබිමක ඒ පිළිබද කාරුණික අවධානය යොමු කරන ලෙස අමාත්‍යවරයා චීන කථානායකවරයාගෙන් ඉල්ලා ඇත. තවද ශ්‍රී ලංකා චීන නිදහස් වෙළද ගිවිසුම යටතේ ඇගලුම්, තේ සහ මැණික් වැනි කර්මාන්ත ක්ෂේත්‍රවලට චීන වෙළදපළට ප්‍රවිශ්ට වීම සදහා පහසුකම් පුළුල් කර දෙන ලෙසද අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

චීන සංවර්ධන බැංකුවේ කලාපීය මූලස්ථානයක් කොළඹ වරාය නගරය ආශ්‍රිතව පිහිටුවීම සදහා සියලු පහසුකම් සැලසීමට රජය සූදානම් බවද මෙහිදී මුදල් අමාත්‍යවරයා පැවසීය. තවද මෙරට ආයෝජන අවස්ථා සදහා චීනයේ සහය අපේක්ෂා කරන බවද මුදල් අමාත්‍යවරයා පවසා ඇත.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඇතුළු අනෙකුත් ආයෝජන සදහා චීන ආයෝජන පහසුකම් සලසන බව මෙහිදී චීනයේ මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ලී ෂන්සු මහතා පවසා තිබේ.  

මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මෙම අවස්ථාවට ගරු කථානායකවරයාට අමතරව නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය, පාර්ලිමේන්තුවේ සභානායක සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ , විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.ඇල් පීරිස්, තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක සහ මහාචාර්ය රොහාන් ගුණරත්න යන මහත්වරු සහභාගී වී තිබේ.

චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටුවේ මහලේකම් යැං ෂෙන්වු, මහජන කොන්ග්‍රසයේ ව්‍යවස්ථාවේ සහ නීති කමිටුවේ සභාපති මෙන්ම මහජන කොන්ග්‍රසයේ චීන-ශ්‍රී ලංකා මිත්‍රත්ව කණ්ඩායමේ සභාපති ලී ෆෙයි , මහජන කොන්ග්‍රසයේ විදේශ කටයුතු කමිටුවේ සභාපති ෂැං යේසුයි, මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටුවේ නියෝජ්‍ය මහලේකම් හූ ෂියාඕලි , විදේශ කටයුතු සහකාර අමාත්‍ය, ශ්‍රී ලංකාවේ හිටපු චීන තානාපති වූ ජියෑංගාවෝ, මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටුවේ පර්යේෂණ කාර්යාලයේ අධ්‍යක්ෂ සොන්ග් රූයි යන මහත්වරුද චීන දූත පිරිස නියෝජනය කරමින් මෙම අවස්ථාවට එක්ව සිට ඇත.

Visits: 143