ඉන්දියාවේ අදානි සමාගම ජෝන්කීල්ස් හා එක්ව බටහිර පර්යන්තයේ ඉදිකිරීම් දෙසැම්බරයේ අරඹනවාලු

කොළඹ වරායෙහි බටහිර පර්යන්තය ඉදිකිරිම සඳහා ගිවිසුම් ගතව සිටින ඉන්දියාවේ අදානි පෝර්ට්ස් ඇන්ඩ් ස්පෙෂල් ඉකොනොමික් සෝන් සමාගම ලබන දෙසැම්බර් මාසයේදී සිය කටයුතු ආරම්භ කිරීමට සූදානමින් සිටින බව ෂිප් ටෙක්නොලොජි වෙබ් අඩවිය පවසයි.

මෙහිදී අදානි සමාගම මෙම ව්‍යාපෘතිය සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 675.68ක මුදලක් ආයෝජනය කිරිමට සූදානමින් සිටින අතර මෙය මියන්මාරයට පසුව එම සමාගම සිදු කරන දෙවැනි ජාත්‍යන්තර ව්‍යාපෘතියද වෙයි.

පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකා රජය විසින් කොළඹ වරායෙහි බටහිර පර්යන්තය ඉදිකිරීම සඳහා වන කැමැත්ත අදානි සමාගමෙන් විමසා සිටි අතර, එම සමාගම එය පිළිගෙන තිබුණි. එහිදී ශ්‍රී ලංකාවේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම එහි දේශීය හවුල්කරුවා ලෙස කටයුතු කරන අතර, ශ්‍රී ලංකා වරාය අධිකාරියත් එහි හවුල්කරුවෙකි.

මෙම ව්‍යාපෘතිය යටතේ අඩි 20ක බහාලුම් මිලියන 3.5ක ධාරිතාවක් සහිත පර්යන්තයක් ඉදිකිරීම සැලසුම වන අතර වසර 35ක කාලයක් සඳහා මෙම පර්යන්තය ඉදිකිරීම, මෙහෙයුම් සිදු කිරිම සහ ආපසු පැවරීම යන එකඟතාව අනුව මෙය සිදු කෙරේ.

දැනටමත් මෙම සමාගම් තුන එක්ව වෙස්ට් කන්ටේනර් ඉන්ටර්නැෂනල් ටර්මිනල් නමින් සමාගමක්දලියාපදිංචි කර තිබේ. එහි හිමිකාරීත්වයෙන් 51%ක් ඉන්දියාවේ අදානි සමාගම වෙත අයත් අතර, 34%ක් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමටත් 15%ක් ශ්‍රී ලංකා වරජය අධිකාරියටත් හිමිය‍.

මෙම ව්‍යාපෘතිය සඳහා වන කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම ලබන නොවැම්බර් මාසයේදී පමණ සිදුවීමට නියමිතව තිබෙන බවත් මාධ්‍ය වාර්තා පවසයි.

Visits: 243