තරුණ ව්‍යවසායකයෙකු ප්ලාස්ටික් අපද්‍රව්‍යවල වටිනාකම සොයා ගන්නේ කෙසේද?

කාර්මීකරණය හා ජනගහනය වැඩිවීමත් සමඟම, වගකීම් විරහිතව ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීමේ සහ කළමනාකරණයේ අක‍්‍රමවත් බව සීඝ‍්‍රයෙන් වර්ධනය වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි අර්බුදයකට මුහුණ පා සිටී. උදාහරණ ලෙස මෙරට ප්ලාස්ටික් පරිභෝජනය 16% ක වර්ධනයක් පෙන්නුම් කෙරෙන අතර වාර්ෂිකව එය මෙටි‍්‍රක් ටොන් 265,000 ක ප්ලාස්ටික් පරිභෝජනයකි.

මෙයින් සිදුවිය හැකි හානිය අවබෝධ කර ගත් එවකට විසි හැවිරිදි වියේ පසු වූ පැතුම් නිරංජන නම් තරුණ ව්‍යවසායකයා 2011 දී PET (Polyethylene Terephthalate) – (පොලිඑතිලීන් ටෙරෙෆ්තලේට්) ප්ලාස්ටික් සහ වෙනත් ප්ලාස්ටික් එකතු කිරීම සඳහා අතුරුගිරිය ප‍්‍රදේශයේ P&L Industries ආරම්භ කළේය.

පරිසරයට ආදරය කළ තරුණයෙක්
වර්තමානයේ තිස්හැවිරිදි වියේ පසුවන තරුණයෙකු ලෙස ඔහු කියා සිටින්නේ ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් තොර පරිසරයක් සඳහා තමා තුළ ඇති දැඩි ඇල්ම තම වෘත්තිමය ජීවිතයට ආරෝපණය කරමින් ඔහු මෙම ව්‍යාපාරය ආරම්භ කළ බවයි.

“P&L Industries ආරම්භ කිරීමට පෙර මම PET ප්ලාස්ටික් එකතු කරන සමාගමක සේවය කළා. මාර්ග දෙපස සිට ජල මාර්ග දක්වා සෑම තැනකම ප්ලාස්ටික් තිබෙන බව මම දුටුවා. PET ප්ලාස්ටික් එකතු කිරීම පමණක් නොව වෙනත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීම සඳහා ද යොමුවෙමින් මගේ ව්‍යාපාරය විවිධාංගීකරණය කළ යුතු බව මට පසුව වැටහුණා.” යනුවෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් පැතුම් ප‍්‍රකාශ කළේය.

සාමාන්‍යයෙන්, බස්නාහිර පළාත තුළ නගර සභා මගින් නිවෙස් හා කාර්යාලවලින්  අපද්‍රව්‍ය එකතු කිරීමෙන් පසුව ඔහු තම කණ්ඩායම යොදවා අපද්‍රව්‍ය එකතු කිරීම හා මිලදී ගැනීම සිදුකරනු ලබයි. ප්ලාස්ටික්වල ගුණාත්මකභාවය මත පදනම්ව, PET බෝතල්  කිලෝග‍්‍රෑම් එකක් සඳහා රුපියල් 20-30ක මුදලකට හා අනෙකුත් ප්ලාස්ටික් (HDPE and PP) සඳහා කිලෝග‍්‍රෑම් එකක් රුපියල් 60-70 ක් මුදලකුත් ගෙවා ඔහු මෙම අපද්‍රව්‍ය මිලදී ගනු ලබයි.

සෑම මසකම ඔහුගේ කණ්ඩායම දළ වශයෙන් PET බෝතල් 450,000 ක් සහ වෙනත් ප්ලාස්ටික් මෙටි‍්‍රක් ටොන් 70-80 ක් එකතු කර වටිනාකම් එක් කළ නිෂ්පාදන නිර්මාණය කරන ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන්නන් සඳහා අලෙවි කරයි. ශ්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාගම වන ඉකෝ ස්පින්ඞ්ල්ස් (Eco Spindles) විසින් වසංගත කාලයේදී පැතුම් වැනි ප්ලාස්ටික් එකතු කරන්නන්ට ඔවුන්ගේ ආදායම අඩු වූ විට ණය මුදලක් ද ලබා දීමෙන් ඔවුන්ට සහය විය.

පැතුම්ගේ ව්‍යාපාර කටයුතු දැන් සාර්ථකව පැවතුණද, පැතුම් තරුණ ව්‍යාපාරිකයෙකු වශයෙන් ඉදිරියට යාමේදී විවිධ අභියෝගවලට මුහුණ දුන්නේය. ඔහු තම ව්‍යාපාරය ආරම්භ කරන විට, අපද්‍රව්‍ය එකතු කිරීමේදී අවශ්‍ය කුසලතාවලින් යුත් පුද්ගලයින් මෙන්ම ව්‍යාපාරවල පැවති හිඟය හේතුවෙන් ව්‍යාපාරය පිහිටු වීම ගැටලූකාරී විය. ඊට අමතරව, එකතු කරන ලද ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා සුදුසු ස්ථානයක් මිලදී ගැනීමට මුදල් ඉතිරි කරන අතරම මෙම ව්‍යාපාරය පිළිබඳව අවබෝධයක් ඇති සේවක පිරිසක්ද ඔහුට අවශ්‍ය විය.

අපකීර්තියෙන් මිදීම
”එමෙන්ම අප මුහුණ දුන් තවත් ගැටලූවක් නම් අපද්‍රව්‍ය එකතු කරන්නන් කෙරෙහි ඇති අප‍්‍රසාදයයි. මෙම ව්‍යාපාරය පහත් පෙළේ ව්‍යාපාරයක්ය යන මතය සමාජයේ මුල් බැසගෙන තිබෙනවා. කෙතරම් අපවාද ලැබුවද, මෙය ඔබට ලාභයක් උපයා ගත හැකි ව්‍යාපාරයක් මෙන්ම පරිසරයට සහ අපගේ සුන්දර රටට ද එමගින් සේවයක් කරනු ලබනවා. බොහෝ දෙනෙක් මෙම වෘත්තිය ‘බෝතල් පත්තරකාරයෙකුගේ’ භූමිකාවක් ලෙස අවලාදයට ලක්කර ඇති නමුත් අද වන විට මෙම ව්‍යාපාරය හා එයින් ඉටු කරන ලබන කාර්යභාරය විධිමත් රැකියා අවස්ථාවක් දක්වා ක‍්‍රමයෙන් වෙනස් වී තිබෙනවා.” යනුවෙන් පැතුම් අවධාරණය කළේය.

මෙම අභියෝග මධ්‍යයේ වුවද තම සිහිනය සැබෑ කර ගැනීමට සහ මෙම වෘත්තියට හිමි වී ඇති අපකීර්තියෙන් මිදීමට පැතුම් අධිෂ්ඨාන කරගත්තේය. අද වන විට, ප‍්‍රතිචක‍්‍රීයකරණය සඳහා ප්ලාස්ටික් එකතු කිරීම, මිලදී ගැනීම සහ ප‍්‍රවාහනය සඳහා ඔහු සතුව වාහන හතරක් ඇති අතර ඒ සඳහා පුද්ගලයින් 15 දෙනෙකු සේවයේ යොදවා ඇත. ”මගේ කසළ එකතු කිරීමේ ව්‍යාපාරය දියුණු කිරීමට මට සැලසුමක් තිබෙනවා. මට ප‍්‍රතිචක‍්‍රීයකරණ කීරීමට අවශ්‍ය පහසුකම් සහිත යන්ත්‍රෝපකරණ සමඟින් මෙම ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමට අවශ්‍යයි. එනිසා මා ප්ලාස්ටික් පොඩි කිරීමට යොදා ගන්නා crusher යන්ත‍්‍රයක් මිලදී ගත්තා. එමගින් නූල් නිෂ්පාදනයට හා HDPE ප්ලාස්ටික් කුඩු කර කෘෂිකර්මාන්තයේදී භාවිතා කරන ඇල්කේතීන් පයිප්ප (Alkathene pipes) සෑදීම වැනි නිෂ්පාදන සිදු කරන සමාගම්වලට ඒවා අලෙවි කළ හැකියි.’’ යනුවෙන් වැඩිදුරටත් පැතුම් පැවසීය.

දියුණු වීමට අවස්ථාවක්
P&L Industries පුළුල් කිරීමේ පැතුම්ගේ ප‍්‍රයත්නයේදී ඔහු විශ්වාස කරන්නේ වර්තමානයේ පවතින COVID-19 වසංගතය හේතුවෙන් ආනයනය සීමා කර ඇති හෙයින් අපද්‍රව්‍ය එකතු කිරීමේ අංශය තුළ ශ‍්‍රී ලංකාවට දියුණුවිය හැකි බවයි. ‘’PET කුඩා කැබලි ආනයනය කළ හොත් එක් කිලෝග‍්‍රෑමයක් සදහා රුපියල් 300-400ක මිලක් වැය වුවත්, දේශීය වශයෙන් ආයතනවලට කිලෝවක් රුපියල් 150 ක් වැනි මිලකට ඒවා ලබාදිය හැකියි. මේ නිසා, ප්ලාස්ටික් වෙනුවට තවමත් අපට ලාභදායී විකල්පයක් නොමැති බැවින් PET බෝතල් තහනම් කිරීම ප‍්‍රායෝගික නොවන බව අවබෝධ කරගැනීම වැදගත්ය. වීදුරු මිල අධිකයි ඒවගේම ප‍්‍රවාහනය කිරීමමේදී ගැටළු තිබෙනවා.’’ යනුවෙන් පැතුම් පැවසීය.

වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ කැපවීම සාර්ථකත්වයේ මූලික අඩිතාලම බව පැතුම් ගේ කතාව තුළින් සිහිගන්වයි. ප්ලාස්ටික් අපද්‍රව්‍ය පැහැදිලිවම විශාල ගැටලූවක් බවට පත් වී තිබීම ගැන මවිතයට පත් වූ ඔහු මෙම ගැටලූවට ප‍්‍රායෝගික විසඳුම් ලබා දිය හැකි ක‍්‍රියාවලියක කොටස්කරුවෙකු වීමේ අරමුණින් පසුවෙයි. ‘’මා වැනි එකතු කරන්නන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කර මිලදී නොගන්නේ නම් සිදුවන්නේ එම අපද්‍රව්‍යවලට නව ජීවයක් ලබා දිය හැකි ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන්නන් වෙත ඒවා යැවීම වෙනුවට ඒවා විවෘත කසල භූමි/කසළ රැඳවුම් අංගනවලට යොමු කිරීමෙන් දැඩි අවදානමකට අපට මුහුණ දීමටයි.” යනුවෙන් පැතුම් අවධාරණය කළේය.

ප‍්‍රතිචක‍්‍රීකරණය මඟින් ප්ලාස්ටික් බෝතල් වල වටිනාකම අඛණ්ඩව වර්ධනය කරගනිමින් චක‍්‍රීය ආර්ථිකයකට මගසලසයි. එකතු කරන්නෙකු ලෙස පැතුම් මෙම තිරසාර ව්‍යාපාරික ක‍්‍රියාවලියේ වැදගත් කොටස්කරුවෙකු බවට පත්ව සිටී.

Visits: 131