ක්ෂුද්‍ර ණයලාභීන්ගේ පැමිණිලි සඳහා සහය ඇමතුම් ක්‍රමවේදයක් ස්ථාපිත කෙරේ

ක්ෂුද්‍ර මූල්‍ය සේවාලාභීන් මුහුණදී ඇති ගැටළු නිරාකරණය කිරීම සඳහා වූ පියවරක් ලෙස ඕනෑම ක්ෂුද්‍ර ණය ලාභියෙකුගේ ඕනෑම දුක්ගැනවිල්ලක් වාර්තා කිරීමට ලංකා ක්ෂුද්‍ර මූල්‍ය නියුක්තිකයින්ගේ සංගමය විසින් ‘ක්ෂුද්‍ර මූල්‍ය සහය ඇමතුම් ක්‍රමවේදය’ ආරම්භ කර ඇතැයි පවසයි.

සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍රමූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ මගපෙන්වීම ඇති ව මෙය ස්ථාපිත කර ඇත. මෙම ක්‍රියාමාර්ගය දියත් කිරීම 2021 අගෝස්තු මස 03 වන දින පෙ.ව 10.00 බත්තරමුල්ල, සෙත්සිරිපාය දෙවන අදියර පළමුවන මහලේ අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී සිදු වී තිබේ.

මෑත කාලීනව ශ්‍රී ලංකාව තුළ, ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය පිළිබඳව අහිතකර මාධ්‍ය වාර්තා පළවීම දක්නට ලැබී ඇති බවත්, එම මාධ්‍ය වාර්තා සමස්ථ ක්ෂේත්‍රය කෙරෙහි දැඩිබලපෑමක් ඇති කළ හැකි බැවින් ලංකා ක්ෂුද්‍ර මූල්‍ය නියුක්තිකයින්ගේ සංගමය ඒවා පිළිබඳ දැඩි සැලකිල්ලක් දක්වන ලද බවත් පවසයි.

ලංකා ක්ෂුද්‍ර මූල්‍ය නියුක්තිකයින්ගේ සංගමය යනු ශ්‍රී ලංකාවේ ජීවත්වන මිලියන 02 කට අධික අඩු ආදායම් ලාභී පවුල් සඳහා සේවා පහසුකම් සැපයීමේ කාර්යයේ නියලී සිටින ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 53 ක් නියෝජනය කරන රුපියල් බිලියන 80 කට අධික ණය කළඹකින් සමන්විත ආයතන ජාලයකි.

පසුගිය කාලය තුළ අවස්ථාවන් කිහිපයකදීම මෙවැනි මාධ්‍ය වාර්තා පළවූ විට කරුණු සෙවීමේ යහපත් චේතනාවෙන් සහ යම් ගැටළුවක් ඇත්නම් ඒවාට අවශ්‍ය විසඳුම් ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් ලංකා ක්ෂුද්‍ර මූල්‍ය නියුක්තිකයින්ගේ සංගමය විසින් ඒ සඳහා ප්‍රතිචාර දක්වන ලදී.

වගකිය යුතු ආයතනයක් ලෙස ලංකා ක්ෂුද්‍ර මූල්‍ය නියුක්තිකයින්ගේ සංගමය සමස්ථයක් වශයෙන් ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ සහ සාමාජික ආයතනවල තිරසරභාවය ආරක්‍ෂා කරමින් විශේෂයෙන්ම වර්තමානය වන විට කොවිඩ් 19 වසංගතයෙන් දැඩි බලපෑමකට ලක්ව සිටින සහ ඉන් වඩා වැඩි අවදානමක් ඇති කාණ්ඩය ලෙස සැලකෙන අඩු ආදායම් සේවාලාභීන් වැනි මෙම ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශවකරුවන් ආරක්‍ෂාකර ගැනීමට දැඩි උනන්දුවක් දක්වයි.

ක්ෂුද්‍ර ණය ලාභීන්ගේ පැමිණිලි හැසිරවීම් සහය ඇමතුම් ක්‍රමවේදයට අදාළ ක්‍රියාපටිපාටිය පහත පරිදි වේ.

■ පැමිණිලි සිංහල භාෂාවෙන් හෝ දමිළ භාෂාවෙන් ඉදිරිපත් කල හැකිය.

■ ණයලාභීන් විසින් කරනු ලබන සෘජු පැමිණිලි සඳහා පමණක් ක්‍රියා මාර්ග ගනුලැබේ.

■ දුරකථනය හරහා සිදුකරන වාචික පැමිණිලි ලිඛිතව ඉදිරිපත් කිරීමද කල යුතු අතර ඒවා වට්ස්අප් / වයිබර් / විද්‍යුත් තැපැල් හෝ සාමාන්‍ය තැපෑල මඟින් ලංකා ක්ෂුද්‍ර මූල්‍ය නියුක්තිකයින්ගේ සංගමය වෙත යොමු කළ යුතුය.

■ පැමිණිල්ල ලංකා ක්ෂුද්‍ර මූල්‍ය නියුක්තිකයින්ගේ සංගමයේ සාමාජිකයෙකුට එරෙහිව නම්, සති 02ක කාලසීමාවක් ඇතුළත ඊට අදාළ විසඳුම් ලබාදීම සඳහා අදාළ සාමාජික ආයතනයට එම පැමිණිල්ල යොමුකරනු ලැබේ.

■ ලංකා ක්ෂුද්‍ර මූල්‍ය නියුක්තිකයින්ගේ සංගමයේ සාමාජිකයෙකු නොවන ආයතනයකට එරෙහි පැමිණිල්ලක් නම්, අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා එම සමාගමට අදාළ පැමිණිල්ල යොමුකරන අතර පසුවිපරම් ක්‍රියාමාර්ග සඳහා එහි පිටපතක් ක්ෂුද්‍ර මූල්‍ය රාජ්‍ය අමාත්‍යංශය වෙත යොමුකරනු ලැබේ.

මෙම අවස්ථාවට සහභාගී වූ සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ශෙහාන් සේමසිංහ මහතා, “අපේ රටේ ප්‍රාග්ධනය සොයා ගැනීමට අපහසු ග්‍රාමීය, අඩුආදායම් ලාභී , දුප්පත් ජනතාවට, විවිධ විකල්ප ක්‍රම භාවිතා කරමින් ණය සැපයීම සිදුකිරීමයි ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වල අරමුණ. මේ වටා මේ වනවිට අපේ රටේ මිලියන දෙකකට වැඩි සාමාජීක පිරිසක් ඒකරාශී වෙලා ණය පහසුකම් ලබා ගන්නා බව අපි දන්නවා. මේ අයට විවිධ අපහසුතාවලට පත්වීමටමීටපෙර සිදූ වුණඅවස්ථා අපි මාධ්‍යහරහාදැක්කා. විවිධ පැමිණිලි අපට ලැබුණා. අතිගරු ජනාධිපතිතූමා මේ පිළිබඳ අවධානය යොමු කළා. ඒ අනුව විනිවිද පෙනෙන තත්වයට ගෙන ඒමට මෙම ආයතන රජයක් ලෙස අපි නීති රාමුගෙන එමින් සිටිනවා.” යැයි පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “අපි හඳුනාගත් අඩුපාඩු රාශියක් මග හරවාදීම සදහා ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට හඳුන්වාදීමට කඩිනමින් කටයුතු කරනවා. මෙරට අහිංසක ජනතාවට කිසිදු අයුරකින්, හේතුවකින් අසාධාරණයක් සිදුවීමට ඉඩ තියන්න වත්මන් රජය සූදානම් නෑ. අපි සතුටුවෙනවා මෙම ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නව දැක්මකින් වත්මන් රජයේ තීන්දු තීරණ සමඟ කටයුතු කිරීමට පෙළ ගැසීම සම්බන්ධව.” යැයි පවසා තිබේ.

සහය ඇමතුම් සම්බන්ධ තොරතුරු
දුරකථන / වට්ස්අප් / වයිබර් අංකය        : 071 832 0000
විද්‍යුත් තැපෑල                                       : helpline@microfinance.lk
ලිපිනය                                                 : අංක 32, සූරියමල්මාවත, දිවුලපිටිය, බොරලැස්ගමුව
මෙහෙයුම් වේලාව                                : පෙ.ව 7.00 සිටප.ව 7.00 දක්වා සතියේ දින 07 පුරා

Visits: 52