මෙරට පළමු ගුවන් තොටුපොළ හෝටලය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආශ්‍රිතව

මෙරට ගුවන් තොටුපොළක් ආශ්‍රිතව ඉදි කරන පළමු ගුවන් තොටුපොළ හෝටලය (Airport Hotel) කටුනායක බණ්ඩාරනයාක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආශ්‍රිතව ලබන වසරේ දෙසැම්බර් මාසයේදී පමණ මෙහෙයුම් ආරම්භ කරනු ඇතැයි පවසයි.

කලම්බු ඉන්ටර්නැෂනල් එයාර්පෝට් හොටෙල්ස් ලිමිටඩ් සමාගම (CIAH) යටතේ මෙම හෝටලය පිහිටුවීම සැලසුම වී තිබේ. මෙය තරු හතර පන්තියේ පහසුකම් සහිත හෝටල් කාමර 185කින් සමන්විතව හෝටලයක් බව එම සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

විශේෂයෙන්ම ඉදිරියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි මගී ධාරිතාව වර්ධනය කිරීමේදී ඊට වඩා වැඩි වටිනාකමක් ලබා දීමේ අරමුණින් මෙම හෝලය පිහිටු වෙන බව කලම්බු ඉන්ටර්ෂැනල් එයාර්පෝට් හොටෙල් සමාගමේ සභාපති ආචාර්ය රුවන් පෙරේරා මහතා පවසා සිටියි.

“මෙම ව්‍යාපෘතියේ කාලය පිළිබඳව අපි විශේෂයෙන්ම අවධානය යොමු කර තිබෙනවා. මෙය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට අගය එකතු කිරිමක් පමණක්ම නොවෙයි,නිදහස් වෙළෙඳ කළාපය වෙත පැමිණෙන අමුත්තන් සඳහා මෙන්ම පර්යන්ත මගීන්, කාර්ය මණ්ඩලය මෙන්ම ව්‍යාපාරික සංචාරකයන් සඳහාද මෙය සුවිශේෂී විසඳුමක් වේවි.” යනුවෙන් පවසා ඇත.

මෙහිදී ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම සමගින් ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය සිදු කරන බවත්, ව්‍යාපෘතිය එම සමාගමට අයත් ඉඩමක සිදු කරන බවත් ඒ මහතා සඳහන් කර තිබේ. මේ සඳහා වන ආයෝජනය සඳහා ජපාන ආයෝජකයන් පිරිසක් ඉදිරිපත්ව සිටින බවත් පෙරේරා මහතා වැඩිදුරටත් පවසා තිබේ.

ආචාර්ය රුවන් පෙරේරා මහතා ජපානයේ සෝනි කෝපරේෂන් සමාගම සමගින් ව්‍යාපෘති කිහිපයකම කටයුතු කර වසර ගණනාවක අත්දැකීම් සහිත වෘත්තිකයෙකු බව පැවසෙයි.

මෙම කලම්බු ඉන්ටර්නැෂනල් එයාර්පෝට් හොටෙල්හි ප්‍රධාන ගෘහනිර්මාණශිල්පියා වන්නේ ජපාන ජාතික ගෘහ නිර්මාණශිල්පී ඉචියෝ ටෙට්සුයා මහතාය. එසේම ව්‍යාපෘතියේ සහායිකාවක සහ ප්‍රවර්ධන තානාපතිනියක ලෙස එෆ්. මිචිකෝ කටයුතු කරන බවත් පවසයි.

මෙහිදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත බොහෝ කාලයක් පුරා අවශ්‍යව තිබූ අගය එකතු කළ වටිනාකමක් ලෙස මෙම හෝටලය හැඳින්වී තිබේ. මෙහිදී සුපීරියර්, ඩිලක්ස් සහ සුයිට් ලෙස මෙහි කාමර වෙන් කර ඇත. එසේම ප්‍රධාන නාන තටාකය ඇතුළුව රිසෝට් පහසුකම්ද, ස්පා සහ කායවර්ධන මද්‍යස්ථාන පහසුකම්ද එහි ඇත. මීට අමතරව හමු,සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන (MICE) අවස්ථා සංවිධාන කළ හැකි මධ්‍යස්ථානයක් ලෙසත් එය ක්‍රියාත්මක වෙයි. හෝටලයේ ඉහළම මහලේ ආපනශාලා සහ මත්පැන් ශාලා පිහිටු වෙන බවත් සඳහන් වෙයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වන කලම්බු ඉන්ටර්නැෂනල් එයාර්පෝට් හොටෙල්හි සභාපති ආචාර්ය රුවන් පෙරේරා මහතා, “ජපානයේ සහයෝගිතාවත් සමගින්, ශ්‍රී ලංකාවේ පිළිගත් උපදේශනාත්මක සමාගමක සහ මෙරට මුල් පෙළේ ඉදිකිරීම් සමාගමක දායකත්වයෙන් මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට කටයුතු යොදනවා. ඒ වගේම නියමිත කාලයේදී එහි වැඩ නිම කර මෙහෙයුම් ආරම්භ කිරීමටත් බලාපොරොත්තු තබා තිබෙනවා.” යනුවෙන් පවසා ඇත.

Visits: 336