පිට පිට දෙවැනි දිනටත් විදේශ ආයෝජන ගලා ඒමක්

අද (අගෝස්තු 06) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු වඩාත් සාර්ථක ස්වරූපයක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. ඒ හේතුවෙන් ඊයේ දිනයේ වෙළෙඳ පොළ සිදු වූ අලාභයන් යථාවක්වීමක් සිදුව තිබේ. විශේෂයෙන්ම වටිනා කොටස් සහ විශාල සමාගම් තුළ මෙම තත්ත්වය දැකගත හැකිව තිබේ.

තැරැව්කාර සමාගම් පවසන ආකාරයට දිනයේ පළමු පැයේදී වෙළෙඳ පොළ තුළ යම් අවිනිශ්චිතතාවක්  පෙන්නුම් කළද, පසුව වෙළෙඳ පොළ වඩාත් දැඩි සහ ශක්තිමත් ස්වරූපයකට පත්ව තිබේ. එහිදී ආයතනික සහ තනි පුද්ගල ආයෝජකයන් දිනයේ වැඩි ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කර ඇත. එසේම පිටපිට දෙවැනි දිනටත් විදෙස් ආයෝජන ගලා ඒමක් අද දිනයේදීද කොළඹ කොටස් හුවමාරුව තුළ දැකගත හැකි වූ බවත් තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,976.65ත් ඒකක 8,110.55ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 8,099.12ක් බවට පත්විය. එය ඊයේ (අගෝස්තු 05) දිනයට සාපේක්ෂව ඒකක 87.18ක් එනම් +1.09%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවලට අනුව සිදු වුණු මෙල්ස්ටාකෝර්ප්, ඇම්බියොන් හෝල්ඩිංග්ස් සහ හේලීස් ෆැබ්රික් යන සමාගම් තුළ සිදු වුණු කොටස් ගනුදෙනු දිනයේ පිරිවැටුමෙන් 21.5%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 128ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 58ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+9.65), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (+9.25), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+8.38), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (+6.65), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (+4.03), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-2.23), හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී HHL (-1.35), සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී SHL (-0.54), රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී RICH (-0.45), සිටිසන් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී CDB (-0.37යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,056.02ක අගයක් ගත් අතර, එය ඊයේ (අගෝස්තු 05දා) ට සාපේක්ෂව ඒකක 18.41 ක එනම් +0.61%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 4.08ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (අගෝස්තු 05දා) වාර්තා කළ රුපියල් බිලියන 5.07ට සාපේක්ෂව 19.5% ක ඉහළ යාමකි. විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම මිලදී ගන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.59ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 21.23%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 65.2ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 56.1ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා ඒම්හි වටිනාකම රුපියල් මිලියන 9.1කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 35.59ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය සම්පත් බැංකුව විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 22.34 කි. එසේම ඩයලොග් ආසිආටා පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 10.16ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,310ක් සඳහා ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 32%කි. එසේම ප්‍රවාහන සහ පාරිභෝගික භාණ්ඩ සහ ඇගලුම් අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 707 ක සහ රුපියල් මිලියන 492ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 341