කොළඹ වරාය නගර ඉදිකිරීම් සමාගම ගැන ඇමෙරිකානු තානාපතිනියගේ ප්‍රකාශය වැරදියි

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය වන ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය විසින්, 2021 ජූලි 29 වන දින මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් කොළඹ වරාය නගර ආයෝජන සමාගම වනසී.එච්.ඊ.සී පෝට්සිටි කලම්බු (පුද්.) සමාගම (CHEC Port City Colombo (Pvt) Ltd ) විසින් පැහැදිලි කිරිමක් සිදු කරන බව නිවේදනයක් මගින් සඳහන් කර සිටියි.

තානාපතිනී ටෙප්ලිට්ස් මහත්මිය එහිදී මාධ්‍යවේදීන් හමුවේ පහත ප්‍රකාශය සිදු කර තිබුණි. “වරාය නගර සංවර්ධනයේ නිරත වී සිටින සමාගමක් ඇමරිකා එක්සත් ජනපදයේ සම්බාධක ලැයිස්තුවට ඇතුළත් වී ඇති බැවින්, එම සමාගම සමග ගනුදෙනු කිරීම යෝග්‍ය නොවීමට ඉඩ තිබේ.”

කෙසේ වෙතත් CHEC Port City Colombo සමාගම හෝ එහි මවු සමාගම් වන China Harbour Engineering Company සහ China Communications Construction Companyයන සමාගම් 2020 අගෝස්තු මාසයේදී ප්‍රකාශයට පත්කරන ලද ඇමරිකා එක්සත් ජනපදයේ සම්බාධක සමාගම් ලැයිස්තුවට ඇතුළත් වී නොමැත.

අප විසින් මීට ඉහත 2020 වසරේ අගෝස්තු මාසයේදී පැහැදිලිව දක්වන ලද ආකාරයටම, ඇමරිකා එක්සත් ජනපදයේ සම්බාධක ලැයිස්තුවට ඇතුළත් China Communications Construction Company හි අනුබද්ධ සමාගම් සහ CHEC Port City Colombo  අතර කිසිදු සෘජු ව්‍යාපාරික සම්බන්ධයක් නැත.

ඇමරිකා එක්සත් ජනපදයේ මෙම අසාදු ලේඛනයට ඇතුළත් කර ඇත්තේ, දකුණු චීන මුහුදේ ගොඩකිරීම් කටයුතු වල නිරත වූ අනුබද්ධ සමාගම් කිහිපයකි.

කොළඹ වරාය නගරයට අදාළ මුහුද ගොඩකිරීම් කටයුතු සිදුකරන ලද්දේ ඍජුවම සී.එච්.ඊ.සී පෝට්සිටි කලම්බු (පුද්.) සමාගම(CHEC Port City Colombo (Pvt) Ltd) ඔස්සේ CCCC හි වෙනත් අනුබද්ධ සමාගමක් මගිනි.

තවද, කොළඹ වරාය නගර ව්‍යපෘති සමාගමේ මවු සමාගම වන CCCC සමාගමට එරෙහිව කිසිදු අවස්ථාවක ඇමරිකා එක්සත් ජනපදය මගින් සම්බාධක පනවා නොතිබූ බවද සඳහන් කළ යුතු ය. CCCC යනු ගෝලීය ධනවත් සමාගම් ලැයිස්තුව වන Fortune 500 සමාගමක් වන අතර, එය මේ වනවිට එම ලයිස්තුවේ 78 වන ස්ථානයෙහි පසුවේ.

කොළඹ වරාය නගරයේ ගොඩකිරීම් කටයුතු අවසන් වූයේ 2019 වසරේ ජනවාරි මාසයේදී ය. එහි අති-නවීන අභ්‍යන්තර යටිතල ව්‍යුහයන් ඉදිකිරීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින අතර, ඉඩම් කොටස් 20 ක ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු නුදුරේදීම ආරම්භ වනු ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනියගේ ප්‍රකාශය නොමඟ යවනසුලු එකක් බව පෙන්වා දෙන අතරම, කොළඹ වරාය නගරය පිළිබඳ සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීම මෙම නිවේදනයෙහි අරමුණ බව කොළඹ වරාය නගරය පවසයි.

ආයෝජනයට හිතකර ප්‍රතිපත්ති සහ කාර්යක්ෂම පරිපාලන ක්‍රමවේදයන් පැවතීමමෙන්ම,නිශ්චිත මූලධර්මයන් අනුව මැනැවින් සැලසුම් කරතිබීම යනාදී සාධක හේතුවෙන් කොළඹ වරාය නගරය, කිසිදු ජාති භේදයකින්තොරව ලොව සියලුමආයෝජකයන් හමුවේඇති ආකර්ෂණීය ආයෝජන අවස්ථාවක් බවට පත්වී තිබෙන බවත් කොළඹ වරාය නගරය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 185