කලම්බු සිටි හෝල්ඩිංග්ස් සිය යුනියන් පෙදෙසේ ඉඩම විෂන් කෙයා ඔප්ටිකල් වෙත විකුණයි

ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි අනුබද්ධිත සමාගමක් වන කලම්බු සිටි හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම කොළඹ 02, යුනියන් පෙදෙසෙහි පිහිටි තමන්ට අයත් පර්චස් 47.2ක ඉඩම සහ එහි ගොඩනැගිල්ල විෂන් කෙයා ඔප්ටිකල් සර්විසස් පෞද්ගලික සමාගම වෙත අලෙවි කර ඇතැයි පවසයි.

අද (අගෝස්තු 03) දිනයේදී මෙම ගනුදෙනුව සිදුව තිබේ. මෙහිදී රුපියල් මිලියන 575කට (575,000,000) මෙම ගනුදෙනුව සිදුව තිබෙන බව කලම්බු සිටි හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.

දේපළ කුළියට ලබා දීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන කලම්බු සිටි හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සතු වත්කම් අතරින් එකක් ලෙසද මෙම ඉඩම සහ ගොඩනැගිල්ල පැවතුණි. ඊට අමතරව කොළඹ 08 ගෝතමි පාරේ පිහිටි පර්චස් 17.15ක ඉඩමක් සහ ගොඩනැගිල්ලක්ද එම සමාගමට අයත් වෙයි.

මේ අතරින් කලම්බු සිටි හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවත්වා ගෙන ගිය ඉහත සඳහන් කළ ඉඩම සහ ගොඩනැගිල්ලේ කොටසක් මේ වනවිට DI පාවහන් සමාගමේ ප්‍රදර්ශනාගාරයක් සඳහා කුලී පදනම මත ලබා දී තිබේ.

එසේම මීට පෙර ගොඩනැගිල්ලේ කොටසක පවත්වාගෙන ගිය  ආපනශාලාව තුළ පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීමේ චෝදනාව මත හදිසියේම වසා දැමුණු අතර, පසුව එහි අලුතින් කිසිදු ව්‍යාපාරික මෙහෙයුමක් සිදු නොකෙරිනි.

විෂන් කෙයාර් ඔප්ටිකල්ස් පෞද්ගලික සමාගමේ ප්‍රධාන කාර්යාලයද මෙම ගොඩනැගිල්ලට මීටර කිහිපයක් එපිටින් වොර්ඩ් පෙදෙසේ පිහිටා තිබේ.

2020 නොවැම්බර් මාසයේදී පළ කෙරුණු කලම්බු සිටි හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ 2019/2020 වාර්ෂික වාර්තාව තුළ සඳහන් වන ආකාරයට යුනියන් පෙදෙසේ පිහිටි මෙම ගොඩනැගිල්ල පිහිටි ඉඩමේ පර්චසයක වටිනාකම රුපියල් මිලියන 20ක් (20,000,000ක්) ලෙස සටහන්ව තිබුණි. එය 2019 වසරේදී රුපියල් මිලියන 18ක් වූ බවත් එහි සඳහන්ව තිබේ.

Visits: 361