HNB හා බ්‍රවුන් සහ සමාගම එක්ව කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා සුවිශේෂ දීමනා

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB), කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ භාවිතයට ගන්නා කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා ගනුදෙනුකාරභවතුන්ට විශේෂ සේවා හා ආකර්ෂණීය දීමනා ලබා දීම සඳහා කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ වෙළෙඳපොලේ ප‍්‍රමුඛයා වන බ‍්‍රවුන් සහ සමාගම (Brown & Company PLC) සමඟ වන සිය හවුල්කාරීත්වය පසුගියදා නැවත අලූත් කරන ලද බව පවසයි.

මේ පිළිබඳව අදහස් දක්වන HNB හි පුද්ගලික මූල්‍ය සේවා ප‍්‍රධානී, කාංචන කරුණාගම මහතා ‘‘පාරිභෝගිකයින් කෘෂි යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමේදී ඔවුන්ගේ අවශ්‍යතාවන්ට ගැලපෙන හා ඔවුන්ට විශේෂ දීමනා හා විශේෂ මිල ගණන් ලබා දීම සඳහා බ‍්‍රවුන් සහ සමාගම සමඟ වන අපගේ සහයෝගිතාවය නැවත අලූත් කර ගැනීමට ලැබීම පිළිබඳව අප ඉතා සතුටු වනවා. විශේෂයෙන්ම මෙවැනි අභියෝගාත්මක කාලවලදී මෙරට ආර්ථිකය දියුණු කිරීම සඳහා කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ ඵලදායීතාවය ඉහළ නැංවීම ඉතා වැදගත්. මෙම දිගුකාලීන සබඳතාවය නැවත අළුත් කිරීමත් සමඟින් රටේ ආර්ථිකයට වැදගත් දායකත්වයක් ලබා දෙන මෙම අංශයට අඛණ්ඩවම ඉදිරියටත් සේවය ලබා දීමට HNB බලාපොරොත්තු වනවා.’’ යනුවෙන් පැවසුවේය.

HNB විසින් පාරිභෝගිකයින්ට විශේෂ අඩු පොළී අනුපාත හා ආකර්ෂණීය ලීසිං පැකේජ සමඟින් නොමිලේ ක්‍රෙඩිට් කාඞ්පතක් ද ලබා දෙනු ඇත. මෙම ක්‍රෙඩිට් කාඞ්පත පළමු වසරේ වාර්ෂික ගාස්තුවෙන් නිදහස් කර ඇත. තවද මෙම පැකේජය මගින් බ‍්‍රවුන් සහ සමාගමේ පාරිභෝගිකයින් කෘෂි යන්ත‍්‍ර මිලදී ගැනීමේදී වට්ටම් සහිත මාසික වාරික සහ රුපියල් මිලියන 4.5ක් වටිනා ජීවිත රක්ෂණාවරණයක් ඇතුළුව HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් වෙතින් ආකර්ෂණීය ප‍්‍රතිලාභ හිමි වේ.

මේ පිළිබඳව අදහස් දක්වන බ‍්‍රවුන් සහ සමාගමේ යන්ත්‍රෝපකරණ සහ කෘෂිකාර්මික අංශ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, සංජය නිශ්ශංක මහතා ‘‘කෘෂි යන්ත්‍රෝපකරණ විකිණීමේදී පාරිභෝගිකයා මූලික කරගත් අපගේ නව විකුණුම් ක‍්‍රමවේදය පිළිබඳව අප සැමවිටම ආඩම්බර වනවා. HNB සමඟ වන අපගේ හවුල්කාරීත්වය නැවත අලූත් කිරීම තුළින් අපගේ විශ්වසනීය පාරිභෝගික මහතුන්ට උසස් තත්වයේ කෘෂි යන්ත්‍රෝපකරණ හා අතිවිශිෂ්ට අලෙවියෙන් පසු සේවා ලබා ගැනීමේ හැකියාව ලැබෙන අතර කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත කිරීමට ඔවුන් යන ගමනට එය උපකාර වේවි.’’ යනුවෙන් පැවසුවේය.

වසර 145ක් පුරාවට කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ අවශ්‍යතාවන් සපුරාලමින් කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන, බ‍්‍රවුන්ස් කෘෂි අංශය, සියලූම ට‍්‍රැක්ටර් මාදිලි සදහා අසමසම වගකීමක් ලබා දෙන අතර මෙම ලීසිං පැකේජය යටතේ ආවරණය කර ඇති මිලදී ගනු ලබන සෑම ට‍්‍රැක්ටරයක් සඳහාම එම වගකීම එලෙසින්ම ලබා දීමට කටයුතු යොදා ඇත. මීට අමතරව පාරිභෝගිකයින් වෙතටම ගොස් නොමිලේ සේවා අවස්ථාවන් හතරක් සහ නොමිලේ ලියාපදිංචි කිරීමේ සේවාවක් ද ලබා දෙනු ඇත.

Visits: 39