ඉන්දියාවේ IOC සතු පිරවුම්හල් කිහිපයක් මැලේසියාවේ පෙට්‍රෝනාස් වෙත විකිණීමට යයි

ඉන්දියාවේ විශාලතම ඉන්ධන සැපයුම්කරුවා වන එරට රජයට අයත් ඉන්දියන් ඔයිල් කෝපරේෂන් (IOC) සමාගම සතු පිරවුම්හල් 32,000කට අධික සංඛ්‍යාවක් අතරින් කිහිපයක් මැලේසියාවේ පෙට්‍රෝනාස් සමාගම වෙත අලෙවි කිරීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි.

සෙස සමාගම් දෙක අතර ඇති කරගෙන ඇති ඒකාබද්ධ එකඟතාවක් හරහා අදාළ ඉන්ධන පිරවුම්හල් අලෙවි කිරීම සහ මිලදී ගැනීම සිදුවීමට නියමිතව ඇත. ඉන්දියාව තුළ ඉන්ධන වෙළෙඳ පොළ සෑම අයෙකුටම විවෘත කිරීමේ අවස්ථාවක් ලෙස මෙය සිදු වන බව සඳහන් වෙයි.

දැනටමත් ද්‍රවපෙට්‍රෝලියම් ගෑස් (LPG) ආනයනය සම්බන්ධයෙන් දශක දෙකකට වඩා වැඩි කාලයක් පුරා ක්‍රියාත්මක 50:50ක් ලෙස ක්‍රියාත්මක ඒකාබද්ධ එකඟතාවක් මෙම සමාගම් දෙක අතර පවතී. එහිදී IPPL – IndianOil Petronas Pvt Ltd යන සමාගම යටතේ එම මෙහෙයුම් සිදු කරයි.

ඒ අනුව ඉදිරියේදී එම සමාගම යටතේ ඉන්ධන සහ ස්වාභාවික වායු වෙළෙඳ පොළ තුළ සිදු කිරීමට සැලසුම් කර ඇති පුළුල් කිරිමක් ලෙස මෙම ඉන්ධන පිරවුම්හල් මිලදී ගැනීමට පියවර ගෙන තිබෙන බව සඳහන් වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති IOC සමාගමේ අධ්‍යක්ෂ (මූල්‍ය) එස්.කේ. ගුප්තා මහතා, “අද අපිට සියලුම ආකාරයේ විකල්ප විවෘත වෙලා තිබෙනවා. IPPL හට අලුතින් සිල්ලර අලෙවිසැල් පිහිටුවන්න පුළුවන්. එසේම රටෙහි අධිවේගී මාර්ග දෙපස අලුතින් පිරවුම්හල් පිහිටුවන්න පුළුවන්. ඒ වගේම මෙම ඒකාබද්ධ එකඟතාව යටතේ අපිට පුළුවන් අපගේ තියෙන පිරවුම්හල් එම සමාගම වෙත අලෙවි කරන්න” යනුවෙන් පවසා ඇත.

මෙහිදී IPPL සමාගම එම ඉන්ධන පිරවුම්හල් තුළ හුදෙක් පෙට්‍රල් හෝ ඩීසල් අලෙවි කිරීමකින් තොරව විදුලි මෝටර් රථ ආරෝපණ මධ්‍යස්ථාන මෙන්ම බැටරි හුවමාරු ස්ථාන යනාදිය සහ CNG/LPG සහ LNG යනාදියද අලෙවි කරන ස්ථාන ලෙස පවත්වා ගෙන යනු ඇතැයි සඳහන් වෙයි.

ඒ අනුව IPPL සමාගම අද වනවිට ඉන්දියාවේ ඉන්ධන අලෙවිය සිදු කරන 7වැනි සමාගම බවටද පත්වෙයි. ඉන්දියන් ඔයිල් කෝපරේෂන් සහ භාරත් පැට්‍රෝලියම් කෝපරේෂන් ලිමිටඩ්, හින්දුස්ථාන් පෙට්‍රෝලියම් කෝපරේෂන් ලිමිටඩ් යන සමාගම් රජයට අයත් ඉන්ධන අලෙවි සමාගම් වෙයි.

අද වනවිට ඉන්දියාවේ ක්‍රියාත්මක ඉන්ධන පිරවුම්හල් 77‍්,709ක් අතරින් 32,303කම හිමිකාරීත්වය ඇත්තේ IOC සමාගම වෙතයි. එසේම භාරත් පෙට්‍රෝලියම් කෝපරේෂන් වෙත ඉන්ධන හල් 18,766ක්ද, හින්දුස්තාන් පෙට්‍රෝලියම් කෝපරේෂන් වෙත ඉන්ධන හල් 18,776ක් බැගින්ද හිමිය.

පසුගිය සතියේදී මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් සිදු කර ඇති ඉන්දියන් ඔයිල් කෝපරේෂන් හි සභාපති එස්.එම්. වායිද්‍යා ඉදිරියේදී IPPL සමාගම මගින් තමන්ගේම සන්නාමයක් සහ අලෙවිකරණයක් යටතේ මෙහෙයුම් ආරම්භ කරනු ඇතැයි පවසා තිබේ.

Visits: 198