සෙංකඩගල ෆිනෑන්ස් වෙතින් රු.මි 474ක් වටිනා තවත් හිමිකම් නිකුතුවක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී සමාගම සැලසුම් කර ඇති සාමාන්‍ය ඡන්ද හිමි කොටස් නිකුතුව සඳහා එහි අධ්‍යක්ෂ මණ්ඩල විසින් ඊයේ නිර්දේශය ලබා දුන් බව පවසයි. මෙම නිකුතුව සම්බන්ධයෙන් වන මහ බැංකු අනුමැතිය පසුගිය ජූලි 30 වැනිදා හිමිවීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

මෙය සමාගම මගින් මේ වසර තුළ සිදු කරන දෙවැනි සාමාන්‍ය ඡන්ද හිමි කොටස් හිමිකම් නිකුතුව ලෙසින්ද සැලකෙයි.

ඒ අනුව මෙහිදී සමාගම මගින් සිය සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 8ක් (8,627,983ක්) නිකුත් කිරීම සිදු කරන බව පවසයි.

මෙය දැනට සමාගම මගින් නිකුත් කර ඇති සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 9ක් සඳහාම අලුතින් 1 කොටසක් ලෙස සිදු කෙරෙන නිකුත් කිරීමකි.

මෙහිදී එක් කොටසක් රුපියල් 55ක් ලෙස මිල කෙරී ඇති අතර, සමස්ත නිකුතුව හරහා රැස් කෙරෙන මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 474.5ක් (474,539,065ක්) ලෙස ගණන් බලා තිබේ.

සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී සමාගම සඳහන් කරන ආකාරයට අද වනවිට සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් බිලියන 1.95කි (1,950,237,980).

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2018 අංක 03 වගන්තිය යටතේ මෙරට මූල්‍ය සමාගම් වෙත නිකුත් කර තිබෙන එම සමාගම්වල මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවන් සම්පූර්ණ කරගැනීමේ අරමුණින් මෙම හිමිකම් නිකුතුව සිදු කරන බව සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී සමාගම පවසයි.

මෙහිදී අදාළ හිමිකම් නිකුතුව සිදුකරන දිනයක් සම්බන්ධයෙන් මෙහිදී ප්‍රකාශ කෙරී නැති අතර, මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුවෙහි අනුමැතිය මෙන්ම සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියද හිමිවිය යුතුව ඇතැයි සඳහන් වෙයි.

මේ අතර පසුගිය අප්‍රේල් මාසයේදීද සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී සමාගම සිය සාමාන්‍ය ඡන්ද හිමි කොටස් නිකුතුවක් සිදු කළ අතර, එහිදී දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටස් 14ක් සඳහාම අලුතින් එක් කොටසක් හිමි වන ලෙස එම නිකුතුව සිදු විය.

එහිදී එක් කොටසක් රුපියල් 70 බැගින් සමාන්‍ය ඡන්ද හිමි කොටස් 5,176,790ක් නිකුත් කිරීමටත්, ඒ හරහා රුපියල් මිලියන 362ක මුදලක් රැස් කරගැනීමටත් සෙංකඩගල ෆිනෑන්ස් සමාගම යෝජනා කර තිබුණි.

මෙම නිකුතුවේදී ඉදිරිපත් කෙරුණු කොටස් 5,176,790ක් අතරින් 4,852,684ක් මිලදී ගැනීම සිදු වූ අතර ඒ හරහා රැස් කරගත් මුදල් සමගින් එතෙක් පැවැති ප්‍රකාශිත ප්‍රාග්ධනය වූ රුපියල් බිලියන 1.58ක ප්‍රමාණය අද රුපියල් බිලියන 1.95ක් දක්වා වර්ධනය කරගැනීමට හැකියාව ලැබී තිබේ.

Visits: 135