මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් රුපියල් 65 බැගින් ලාභාංශ ගෙවීමක

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (MERC.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 65ක් බැගින් ලාභාංශ ගෙවන බව සමාගම පවසයි.

මෙය 2022 මාර්තු 31 වැනිදායින් අවසන්වීමට නියමිතව ඇති මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශය ලෙසින්ද සමාගම හඳුන්වා දී තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන අගෝස්තු 11 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය ලෙස (XD Date) ලබන අගෝස්තු 06 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවද මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම පවසයි.

අවසන්වරට කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු සිදු වුණු පසුගිය සිකුරාදා දිනය නිමාවේදී මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 2,600ක් ලෙස සටහන්ව තිබුණි. 2021 මාර්තු 31 වැනිදා වනවිට මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ කොටස් හිමිකාරීත්වය අතරින් වැඩිම ප්‍රමාණය වන කොටස් 629,580ක් එනම් 20.94%ක ප්‍රතිශතයක් නිලාවේලි බීච් හොටේල්ස් පෞද් සමාගම වෙත හිමිව ඇත.

එසේම තවත් කොටස් 477,213ක් බැගින් A.M. Ondaatje, G.G. Ondaatje සහ T.J, Ondaatje යන එකම පවුලේ සාමාජිකයන් තිදෙනා අතර බෙදී ගොස් ඇත. එය 15.88%ක් බැගින් වූ ප්‍රතිශතයකි. මීට අමතරව මර්කන්ටයිල් ෆෝර්චූන්ස් (පෞද්) සමාගම සතුව තවත් කොටස් 415,162ක් එනම් 13.81%ක් හිමිව ඇත.

Visits: 261