වසර 50 ක රාජ්‍යතාන්ත්‍රික සබඳතා සැමරීමට ශ්‍රී, ලංකාවේදී සහ සිංගප්පූරුවේදී ඒකාබද්ධ මුද්දර නිකුත් කිරීමක්

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර 1970 වසරේ ජූලි 27 වැනිදා රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවාගැනීමේ 50 වැනි සංවත්සරය නිමිත්තෙන්, ඊයේ (2020 ජූලි 27) වැනි දින ඒකාබද්ධ මුද්දර නිකුත් කිරීමේ උත්සවයක් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයේ දී සංවිධානයවී තිබේ.

මෙම සුවිශේෂී සන්ධිස්ථානය පිළිබඳ උත්සවය ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සහභාගීත්වයෙන් සහ සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන් මැතිතුමාගේ අතථ්‍ය සහභාගීත්වයෙන් පැවැත්වී තිබේ.

මෙම මුද්දර දෙක “සමුද්‍ර සංරක්ෂණය” යන තේමාව නිරූපණය කිරීම සඳහා නිර්මාණය කර තිබේ. මෙහිදී ශ්‍රී ලංකාවේ කොරල් පරිසර පද්ධතිය සහ සිංගප්පූරුවේ කඩොලාන ප්‍රතිසංස්කරණය කිරීම ප්‍රදර්ශනය කරන අතර, සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීම සඳහා දෙරටේ පවතින හවුල් උනන්දුව හා කැපවීම පිළිබිඹු කරන බවත් පවසයි.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාව සඳහා සිංගප්පූරුවේ සේවය කළ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරුන් වන චිත්‍රාංගනී වාගිස්වර මහත්මිය, නිමල් වීරරත්න මහතා සහ ෆෙරියල් අෂ්රෆ් මහත්මිය, සිංගප්පූරුව සඳහා ශ්‍රී ලංකාවේ නිර්වේතනික කොන්සල් ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා, ශ්‍රී ලංකාවේ සිංගප්පූරු ව්‍යාපාරික ප්‍රජාව, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, විදේශ අමාත්‍යාංශයේ සහ තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද සහභාගී වී තිබේ.

මේ අතර, කොළඹ දී පැවති උත්සවයට පැය කිහිපයකට පෙර සිංගප්පූරුවේ ෂැන්ග්‍රි ලා හෝටලයේ දී පැවැත්වුණු උත්සවයක දී, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ශෂිකලා ප්‍රේමවර්ධන මැතිනිය සහ සිංගප්පූරුවේ අනේවාසික මහ කොමසාරිස් චන්ද්‍ර දාස් මැතිතුමා විසින් සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දකුණු ආසියා අංශයේ සහ උප සහරා අප්‍රිකානු අධ්‍යක්ෂ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ගිල්බට් ඕ මහතා ඉදිරිපිට දී මෙම මුද්දර දෙක එළිදක්වන ලදී.

සිංගප්පූරුවේ ඉන්ෆොකොම් මාධ්‍ය සංවර්ධන අධිකාරියේ (IMDA) නියෝජ්‍ය අධ්‍යක්ෂ රූත් වොං මහත්මිය, මුද්දර එකතුකිරීම හා මුද්දර පිළිබඳ ආයතනයේ උප සභාපති පෙගී ටියෝ මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය, අයිඑම්ඩීබී, සිංපෝස්ට් සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් කිහිප දෙනෙකු ද මෙම අවස්ථාව සඳහා එක්ව ඇත.

Visits: 36