ස්විස්ටෙක් සිලෝන් ව්‍යාපාර පුළුල් කිරීමට රු.මිලියන 400කට ඉඩම් 2ක් මිලදී ගනී

හේලීස් සමූහ ව්‍යාපාරයට අයත් ස්විස්ටෙක් (සිලෝන්) පීඑල්සී සමාගම සිය සබැඳි පාර්ශ්ව සමාගම් වෙත අයත්ව තිබූ ඉඩම් දෙකක් රුපියල් මිලියන 400ක වටිනාකමකට මිලදී ගෙන ඇතැයි පවසයි. සිය ව්‍යාපාර පුළුල් කිරීම යටතේ නව ගබඩා සංකීර්ණයක්ඉදි කිරීම සඳහා මෙම ඉඩම් මිලදී ගන්නා බව සමාගම දැනුම් දී සිටියි.

ඒ අනුව මෙහිදී හේලීස් සමූහ ව්‍යාපාරයට අයත් ස්විස්ටෙක් (සිලෝන්) පීඑල්සී සමාගමෙහි සබැඳි පාර්ශ්ව සමාගම් වන ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී සමාගමට අයත් ඉඩමක් සහ වෙනිග්‍රොස් (පෞද්) සමාගමට අයත් ඉඩමක් මෙලෙස මිලදී ගැනිම සිදුව තිබේ. පසුගිය ජූලි 19 වැනිදා මෙම ගනුදෙනුව සිදුව ඇත.

මේ අතරින් ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී සමාගමට අයත් නැදුන්ගමුවේ පිහිටි ‘කැකුණගහවත්ත’ නමින් හැඳින්වෙන ඉඩමක පිහිටි ගස් සහ වැවිලි ඇතුළු සියලු දෑද සමගින් රුපියල් මිලියන 195කට (195,000,000) මිලදී ගැනීම සිදුව තිබේ.

එසේම වෙනිග්‍රොස් (පෞද්) සමාගමට අයත් නැදුන්ගමුවේ පිහිටි ‘කැකුණගහවත්ත’ නමින් හැඳින්වෙන ඉඩම රුපියල් මිලියන 205 කට (205,000,000කට) මිලදී ගැනීම සිදුව තිබේ.

“සමාගමේ ව්‍යාපාර පුළුල් කිරීම සඳහා අවශ්‍ය ගබඩා මෙහෙයුම් වෙනුවෙන් මෙම දේපළ අත්පත් කරගැනීමක් සිදුව ඇත” යනුවෙන් ස්විස්ටෙක් (සිලෝන්) පීඑල්සී සමාගම සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම සබැඳි පාර්ශ්ව ගනුදෙනුව හේතුවෙන් ස්විස්ටෙක් (සිලෝන්) පීඑල්සී වෙත හෝ එහි කොටස් හිමිකරුවන් වෙත කිසිදු බලපෑමක් සිදු නොවන බවත්, මෙම ගනුදෙනුව සිදු කිරීමට පෙර ස්වාධීන විශේෂඥයන්ගෙන් ඒ පිළිබඳව අදහස් විමසීමක් සිදු කළ බවත් සමාගම සඳහන් කරයි.

ඒ අනුව 2021/2022 මූල්‍ය වර්ෂයේදී ස්විස්ටෙක් (සිලෝන්) පීඑල්සී සමාගමේ සබැඳි පාර්ශ්ව අතර සිදුව ඇති සමස්ත ගනුදෙනුවල වටිනාකම රුපියල් මිලියන 400ක් ලෙස සටහන් වන බවත් සමාගම අවධාරණය කරයි.

Visits: 641