මාර්ග සංවර්ධනයට නව කොන්ත්‍රාත්කරුවන් යොදාගැනීමට රජයේ අවධානය

මාර්ග සංවර්ධන කටයුතු වලදී වඩාත් කඩිනමින් එම සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා නව කොන්ත්‍රාත්කරුවන් හඳුනාගෙන ඔවුන්ට අවස්ථාව ලබාදීමට කාළය එළඔ ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ඒ මහතා මෙම අදහස් පළ කර තිබේ.

ඒ අනුව, මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදාගත හැකි නව කොන්ත්‍රාත්කරුවන් සොයා ඔවුන්ගේ ශක්‍යතාවන් වහා සොයා බලන ලෙස අමාත්‍යවරයා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මේ අතර මාතර, මහනුවර, රත්නපුර, ගම්පහ, බදුල්ල, හම්බන්තොට, මාතලේ, කලුතර ඇතුළු දිවයින පුරා දිස්ත්‍රික්ක රැසක මාර්ග සංවර්ධනය කඩිනම් කිරීම සඳහා ඉක්මනින් පියවර ගැනීමට කටයුතු කරන ලෙස මහාමාර්ග අමාත්‍යවරයා අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දීම සිදු කර ඇත.

විශේෂයෙන් මාර්ග සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය නිවැරදි ක්‍රියාමාර්ග ඉක්මනින් ගැනීම ඉතා වැදගත් වන බවත්, ඒ සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසත් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා අදාළ පාර්ශවයන් වෙත පවසා ඇත.

Visits: 204