නැවත දැනුම් දෙනතුරු 2021 සඳහා වන වාණිජ බැංකු ලාභාංශ ගෙවීම් මහ බැංකුව අත්හිටුවයි

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් සිය කොටස් හිමිකරුවන් සඳහා ලබා දෙන අතරමැදි හෝ සම්පූර්ණ ලාභාංශ ගෙවීම් 2021 වසර සඳහා නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් මණ්ඩලය තීරණය කර ඇතැයි පවසයි.

පසුගිය ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය ක්‍රියාත්මක වන බව මහ බැංකුව එම බලපත්‍රලාභී බැංකු වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් පවසා තිබෙන බව මේ පිළිබඳ වාර්තාවක් ගෙන එන ඩේලිඑෆ්ටී පුවත්පත පවසයි.

එහිදී බැංකු මූල්‍ය ප්‍රකාශ ඒවායේ අභ්‍යන්තර විගණන නිලධාරීන් විසින් සහතික කිරීමක් සිදු කර විගණනය කිරීමක් සිදු කරන තුරු මෙම සීමාව පැනවෙන බව මහ බැංකුව දන්වා තිබේ.

විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගත තත්ත්වයේ බලපැම නිසා බලපත්‍ර ලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු ආයතනයන්හි ද්‍රවශීලතාව සහ අනෙකුත් ප්‍රධාන කාර්යසාධන දර්ශකයන් වෙත එල්ල විය හැකි දරුණු බලපෑම් පිළිබඳව අවධානය යොමු කරමින් මෙම නව උපදෙස් ක්‍රියාත්මක කෙරෙන බව මහ බැංකුව අවධාරණය කරයි.

ඒ අනුව මෙම සීමා කිරීම්ද සමගින් මෙම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ විශේෂිත වාණිජ බැංකු සතුව ප්‍රමාණවත් ද්‍රවශීලතා මට්ටමක් සහ ප්‍රාග්ධන අවරෝධක (capital buffers) පවත්වාගෙන යාම මෙහිදී වැදගත් බවත් මහ බැංකුව පවසා සිටියි.

එසේම ශ්‍රී ලංකාවෙන් පිටත ලියාපදිංචි කර ඇති සෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක්ම අනිවාර්යයෙන්ම සිය 2020 සහ 2021 මූල්‍ය වර්ෂ සඳහා මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නොමැති ලාභ පිළිබඳව දැනුම්දීමේදී 2021 වසරේ මූල්‍යමය වාර්තාවන් සහ අතරමැදි මූල්‍ය වාර්තාවන් ඒවායේ අභ්‍යන්තර විගණන නිලධාරීන් අතින් විගණනයට සහ සහතික කිරීමක් සිදු කරන තෙක් සිටිය යුතු බවත් මහ බැංකුව දැනුම්දී ඇත.

මේ අතර මහ බැංකු විසින් බලපතලාභී වාණිජ බැංකු වෙත ලබා දී ඇති උපදෙස් අනුව 2021 දෙසැම්බර් 31 වැනිදා තෙක් එම බැංකු විසින් තම කොටස් මිලදී ගැනීමක් සිදු කිරීම, කළමනාකරුවන්ගේ දීමනා ඉහළ නැංවීම සහ අධ්‍යක්ෂ මණ්ඩල සඳහා වන ගෙවීම් ඉහළ දැමීම මෙන්ම දැන්වීම්කරණය, ව්‍යාපාර ප්‍රවර්ධනය, තෑගිලබාදීම්, විනෝදාස්වාදනය, අනුග්‍රාහකත්වය දැක්වීම්, සංචරණ සහ පුහුණු වියදම් දැරීම යනාදී අත්‍යවශ්‍ය නොවන වියදම් කපා දැමිය යුතු බවටත් දැනුම් දී ඇත.

මීට පෙර මෙම සීමා කිරීම් ජූනි 30 වැනිදා දක්වා බලාත්මක කෙරී තිබුණද, මහ බැංකුව විසින් ගනු ලැබූ ආසන්නතම තීන්දුවට අනුව එම සීමා කිරීම් ලබන දෙසැම්බර් 31 වැනිදා දක්වා දිග් කෙරී ඇත. 2020/21 මූල්‍ය වර්ෂය සඳහා වන බැංකු ලාභාංශ ගෙවීම සම්බන්ධයෙන්ද පසුගිය ජනවාරි මාසයේදී මහ බැංකුවෙහි මුදල් මණ්ඩලය විසින් මෙවැනිම නිවේදනයක් බැංකු වෙත නිකුත් කර තිබුණි.

Visits: 572