“ජාතික රූපවාහිනිය පාඩු ලබන ආයතනයක් බවට පත්වෙලා” – ජනමාධ්‍ය ඇමති

මේ වන විට ජාතික රූපවාහිනී නාලිකාව පාඩු ලබන ආයතනයක් බවට පත්ව ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

පසුගියදා (20දා) පාර්ලිමේන්තුවේදී පැවති ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා මේ බව අනාවරණය කර තිබේ.

විශේෂයෙන්ම කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දැඩි ආර්ථික බලපෑමට ලක්ව ඇති රජයේ මාධ්‍ය ආයතන නැවත යථා තත්ත්වයට පත් කිරීමේ දැඩි අභියෝගය තම අමාත්‍යාංශය වෙත පවතින බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

ඒ අනුව ඉදිරියේදී ජාතික අනන්‍යතාව රැක ගනිමින් සහ නවීන වැඩසටහන් වර්ග හඳුන්වා දෙමින් ජාතික රූපවාහිනි නාලිකාව වැඩි දියුණු කිරිමට බලාපොරොත්තු වන බවත්, මේ වසර අවසාන වන විට එය ආදායම් පියවිය හැකි මට්ටමට හෝ ළඟා කරවීමට බලාපොරොත්තු වන බවත් මෙහිදී පවසා තිබේ.

මෙහිදී කොවිඩ් වසංගත තත්ත්වය තුළ රටේ දරුවන් වෙනුවෙන් අධ්‍යාපනික වැඩසටහන් පැය 16ක් පුරා රූපවාහිනිය මගින් විකාශය කිරීම වෙනුවෙන් වැය කෙරෙන මුදල මසකට මිලියන 22ක් වන බවත් අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කර තිබේ.

එහෙත් ඒ සඳහා ලැබෙනුයේ මිලියන 04ක් පමණක් බවත් පැවසූ අමාත්‍යවරයා, දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් රාජ්‍ය රූපවාහිනී නාලිකාවේ වගකීම නිසි පරිදි ඉටු කරන බවත් මෙහිදී පවසා ඇත.

මේ අතර රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය සහ දැනට ක්‍රියාත්මක වන සියළුම ප්‍රවෘත්ති වෙබ් අඩවි ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරිමටත්, පුවත්පත් මණ්ඩල පනත සියළුම මාධ්‍යන්ට අදාළ වන පරිදි මාධ්‍ය මණ්ඩල පනත වශයන් යළි සංශෝධනය කිරීමටත් සිය අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇතැයිද කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා තිබේ.

Visits: 118