මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයෙන් දෙවැනි කාර්තුවේදී මූල්‍ය ආයතන දෙකකට දඩුවම්

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2021 වසරේ දෙවැනි කාර්තුව තුළදී මූල්‍ය ආයතන දෙකක් සඳහා දණ්ඩන පැනවීමක් සිදු කර ඇතැයි පවසයි. මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස මෙම දණ්ඩන පැනවීමට හේතු වී තිබේ.

ඒ අනුව මෙහිදී 2021 මැයි 28 වැනිදා යුනියන් බෑන්ක් ඔෆ් කලම්බු පීඑල්සී වෙත රුපියල් මිලියන දෙකකද (2,000,000.00), 2021 මැයි 21 වැනිදා ඩී.එෆ්.සී.සී. බැංකුව වෙත රුපියල් මිලියනයකද (1,000,000.00) ලෙස මෙම මූල්‍යමය දණ්ඩන පැනවී තිබෙන බව මහ බැංකුවෙහි මූල්‍ය බුද්ධි ඒකකය සඳහන් කරයි.

ඒ අනුව 2021 අප්‍රේල් 01 සිට ජූලි 30 දක්වා කාලය තුළ පනවන ලද සමස්ත මූල්‍යමය දණ්ඩවල වටිනාකම රුපියල් මිලියන 3කි. මෙම දණ්ඩන මගින් එකතු කරන ලද මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කර තිබෙන බවත් මහ බැංකුව පවසයි.

“2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරිමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියාකරන ආයතන සඳහා මූල්‍යමය දණ්ඩන පනවනු ලැබේ.” මහ බැංකුව පවසයි.

එහිදී මූල්‍ය ආයතනයක් හෝ නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාරයක් විසින් සිදුකරන අදාළ අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකි බවද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි. ඒ අනුව රටේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා මෙම දඩ පැනවීම් සිදු කරන බවත් මහ බැංකුව පවසයි.

Visits: 506