රු.බිලියන 2.2 ක JAT Holdings මූලික කොටස් නිකුතුවට අධි ඉල්ලුමක්

ශ්‍රී ලංකාවේ තීන්ත හා ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන JAT Holdings සමාගම අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කළ සිය මූලික මහජන කොටස් නිකුතුව (IPO) සඳහා අධි ඉල්ලුමක් හිමිව ඇතැයි වාර්තා වෙයි.

මෙහිදී කොටසක් රුපියල් 27 බැගින් වූ JAT Holdings හි ඡන්ද හිමි කොටස් 82,904,846ක් නිකුත් කිරීම සිදු විය. මෙම සමස්ත නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 2.2ක් (2,238,430,842ක්) විය.

ඒ අනුව මෙම නිකුතුව ඉතාමත් සාර්ථක ලෙස අධි ඉල්ලුමක් සහිතව නිමාවට පත් වූ බව මෙම මූලික මහජන කොටස් නිකුතුවේ ඒකාබද්ධ මූල්‍ය උපදේශකරයා සහ කළමනාකරු ලෙස කටයුතු කළ CAL සමාගම පවසයි.

මෙම නිකුතුවේදී පළමු අදියර ලෙස කොටස් 55,814,700ක් නිකුත් කෙරුණු අතර, ඒ සඳහා හිමිවන අධි ඉල්ලුමත් සමගින්ම තවත් කොටස් 27,090,146ක් නිකුත් කිරීමට JAT Holdings පියවර ගෙන තිබුණි.

ඒ අනුව මෙම නිකුතුව සඳහා වූ අධිඉල්ලුමත් සමගින්ම සමාගම සිය සංස්ථා ප්‍රකාශය තුළ පෙර සඳහන් කළ ආකාරයට අද පස්වරු 4.30ට මෙම නිකුතුව වසා දමන බවත් JAT Holdings සමාගම වැඩිදුරටත් පවසයි.

එසේම මෙම ඉල්ලුම් ඉදිරිපත් වූ ආකාරය පිළිබඳව ඉදිරියේදී අනාවරණය කරන බවත් JAT Holdings සමාගම පවසා සිටියි.

Visits: 269