වයඹ පළාතේ COVID 19 රෝගීන්ට MAS ඉන්ටිමේට්ස් වෙතින් අතරමැදි සත්කාර මධ්‍යස්ථානයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදක​යකු වන MAS සමූහ ව්‍යාපාරයට අයත් MAS ඉන්ටිමේට්ස් ආයතනය විසින් ඇඳවල් 450කින් සමන්විත COVID 19 අතරමැදි සත්කාර මධ්‍යස්ථානයක් පොල්ගහවෙල ප්‍රදේශයේදී 2021 ජූලි මස පළමුවන දින විවෘත කරන ලද බව පවසයි.

පළා​ත පුරා වේගයෙන් පැතිර යන COVID 19 වෛරසය හේතුවෙන් මුහුණ දී ඇති අභියෝග මධ්‍යයේ ශ්‍රී ලංකා හමුදාවේ සහාය ඇතිව වයඹ පළාතේ MAS සේවා නියුක්තිකයන්ගේ, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සහ පොදු ජනතාවගේ ප්‍රයෝජනය සඳහා මෙම සත්කාර මධ්‍යස්ථානය පිහිටුවා ති​බේ.

රු. මිලියන 48 ක් වැයකරමින් ඉදිකළ මෙම අතරමැදි සත්කාර මධ්‍යස්ථානය වයඹ පළාතේ ආණ්ඩුකාර ගරු. රාජා කොල්ලුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත ක​ළ අතර එ​ම අවස්ථාවට MAS ඉන්ටිමේට්ස්හි ප්‍රධාන විධායක නිලධාරී රජීව් ධර්මේන්ද්‍ර, MAS ඉන්ටිමේට්ස්හි නිෂ්පාදන හා සැලසුම් අධ්‍යක්ෂ රුවන් කෑරගල හා එම ආයතනයේ නිෂ්පාදන අධ්‍යක්ෂ රොහාන් ​දවුලගල යන මහත්වරුන් සහභාගී වි​ය.

වයඹ පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ වෛද්‍ය එම්. කේ. සම්පත් ඉන්දික කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ ස්ථාපිත කළ, මෙම අතරමැදි සත්කාර මධ්‍යස්ථානය COVID 19 රෝගීන් සඳහා අවශ්‍ය විශේෂ පහසුකම් සහිතව සකස්කර ති​බේ. ඒ අනුව මෙයට High Dependency Unit හෙවත් අධි සත්කාර ඒකකයක් සහ ශරීරයේ වෛරස ප්‍රමාණය වැඩි රෝගීන් 20 දෙනෙකු රඳවාගත හැකි විශේෂ ස්ථානයක් සමග වෛදවරුන්ගේ ආරක්ෂාව සහ පහසුව සැලසෙන පරිදි සිදුකළ සැකැස්මක් ඇතුළත් ​වේ. ඊට අමතරව ආරක්ෂාකාරීව ඕනෑම රෝගියෙකුගේ ශරීරයේ ඔක්සිජන් මට්ටම නිරීක්ෂණය කිරීමේ පහසුකම සහ CCTV මගින් රෝගීන්ව නිරීක්ෂණය කිරීමේ පහසුවද මීට ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.

මෙම අතරමැදි සත්කාර මධ්‍යස්ථානයේ සිටින රෝගීන්ට අවශ්‍ය රෝගී සත්කාරක සේවාවන් පොල්ගහවෙල ප්‍රාදේශීය රෝහල මගින් සිදුකරන අතර වයඹ පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සහ වයඹ පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව අනෙකුත් පාර්ශවකරුවන් ලෙස කටයුතු කරයි.

සෑම විටම තම සාමාජික සාමාජිකාවන්ගේ මෙන්ම සමාජයේත් සුව සම්පත පිණිස ක්‍රියාත්මක වන MAS ඉන්ටිමේට්ස් සමාගම මෙම අතරමැදි සත්කාර මධ්‍යස්ථානය ඉදිකිරිම හරහා අපේක්ෂා කරන්නේ මහනුවර හා කුරුණෑගල දිස්ත්‍රික්කවල පදිංචි ජනතාවට නිරෝගී සහ ආරක්ෂාකාරී ජීවන පරිසරයක් නිර්මාණය කර දීම බවත් සමාගම පවසයි.

Visits: 36