මහේල ජයවර්ධන ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩලයට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත රක්ෂණ සමාගමක් වන ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස මෙරට සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන මහතා පත් කරගෙන ඇතැයි එම සමාගම පවසයි.

එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයක් අනුව මෙම නව පත් කිරීම සිදුව තිබේ. ඒ අනුව 2021 ජූලි 05 වැනිදා දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව පත් වීම බලාත්මක වන බවත් සමාගම පවසයි.

මෙහිදී මහේල ජයවර්ධන මහතා ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස ජනශක්ති ඉන්ෂුවරන්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට සම්බන්ධ වී තිබේ.

මහේල ජයවර්ධන මහතා අද වනවිට ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි. එසේම ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවා වන්දේ මහේල ජයවර්ධන මහතාය. මීට අමතරව මෙරට සුප්‍රසිද්ධ අවන්හල් ජාලයක් වන ‘මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්’ හි සම නිර්මාතෘවරයාද වෙයි. මීට අමතරව අද වනවිට ඒ මහතා කෘෂිකාර්මික, දේපළ සංවර්ධන සහ පුනර්ජනනීය බලශක්ති යන ව්‍යාපාර ක්ෂේත්‍ර තුළද නිරත වන බව පැවසෙයි.

මෙම නව පත් කිරීම සිදු කරන අවස්ථාව වන විට ඒ මහතා සතුව ජනශක්ති ඉන්ෂුවරන්ස් සමාගමේ කොටස් හිමිකාරීත්වයක් පවතින්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අනාවරණය කිරිමක් සිදු කර නැත.

මෙම පත් කිරීමට අමතරව ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩලය වෙත තවත් පත් කිරීම් හතරක් සිදු කර තිබේ. ඒ අනුව දිනේෂ් ෂාෆ්ටර් (ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂ), වරිනි ඩි කොස්තා (ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ), අනිකා සේනානායක (ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ) සහ රවී ලියනගේ (ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ) එම පත්වීම් වෙයි.

මේ අතරින් දිනේෂ් ෂාෆ්ටර් අද වනවිට ෆර්ස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි පරිපාලිත සමාගම්හි කළමනාකරණ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි. එසේම මීට පෙර ඒ මහතා කෙල්සි ඩිවලොප්මන්ට් පීඑල්සී සහ ඩුමානිස් කැපිටල් පීඑල්සී යන සමාගම්වලද කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත.

ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සිහි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක වන වරිනි ඩි කොස්තා මහත්මිය මීට පෙර සිනමන් ග්‍රෑන්ඩ් සහ සිනමන් ලේක්සයිඩ් යන හෝටල්වල අධ්‍යක්ෂ මූල්‍ය ලෙස කටයුතු කර ඇත. එසේම අද වනවිට ඇය අමායා ලෙෂර් පීඑල්සීහි විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙසද කටයුතු කරයි.

අනිකා සේනානායක මහත්මිය IWS හෝල්ඩිංග්ස් සමූහයේ සාංගමික සැලසුම් අංශයේ ප්‍රධානියා වෙයි. එසේම ඇය එහි හිමිකරුවා වන ආතර් සේනානායක මහතාගේ බිරිඳද වෙයි. ඇය 2020 වසර වන තෙක්ම ART ටෙලිවිෂන් බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන්හි ප්‍රධාන විධායක නිලධාරිනිය වූවාය. අද වන විට ඇය සම්පත් බැංකුවෙහි ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කරයි.

රවි ලියනගේ මහතා 2020 නොවැම්බර් මාසයේ සිට ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සීහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරයි. මීට පෙර ඒ මහතා රිචර්ඩ් පීරිස් සමාගමේ ආර්පිකෝ ෆිනෑන්ස් සහ සමූහයේ සභාපතිවරයා ලෙස මෙන්ම රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි හි සමූහ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත. ඊට පෙර ඔහු TVS Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසද කටයුතු කර ඇත.

Visits: 565